ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වනදා ය. ඒ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුවය. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. ඒ අනුව ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජින හෝ වූ අතර ඔහුගේ හෝ ඇයගේ නියෝජිතයා වශයෙන් අග්රාන්ඩුකාරවරයෙක් කටයුතු කළේය. මේ අනුව ලංකාවේ ඇතැම් කරුණු පිලිබඳ අවසාන බලය හිමිව තිබුනේ එංගලන්තයේ ආයතනයනට ය. උදාහරණයක් ලෙස ගතහොත් ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය.
1948 ලැබුණු ඩොමීනියන් නිදහසට පසු බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකයන්ට ලංකාව ජනරජයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. ඔවුහු බොහොකොටම බටහිර හිතවාදී ප්‍රතිපත්තියක් ගෙනගිය බව නොරහසකි. මේ අතර රටේ ප්‍රධාන වාමාංශික පක්ෂ සියල්ලක්ම ලංකාව ජනරජයක් විය යුතු බවට ප්‍රකාශ කර සිටියහ. 1956 පෙරළියෙන් පසු බලයට පැමිණි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවටද එය ඉටු කිරීමට අවස්තාවක් නොවීය.
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට කටයුතු කෙරුනේ 1970 බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේය. මෙහිදී වාමාංශික පක්ෂවල මන්ත්‍රීන්ගෙන් විශාල කාර්යයක් සිදු කෙරුණි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාත්රූවරයා වූයේද ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. පාර්ලිමේන්තුව තුල රැස් වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ වූ යම් යම් අපහසුතා හේතුවෙන් එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජකීය විද්‍යාලයේ නවරඟහලේදී රැස් වූහ. එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී.
අවාසනාවකට මෙන් ජනරජ දිනය සඳහා මූලිකත්වය නොගත් දේශපාලන පක්ෂ එය සැලකුවේ තමන්ට අයත් දිනයක් ලෙස නොවේ. 1972 න් පසු පෙබරවාරි 4 වනදා සමරන නිදහස් දිනයටත් වැඩි උත්සවශ්‍රීයෙන් ජනරජ දිනය සමරන ලද නමුත් 1977 ආණ්ඩු පෙරළියට පසු එය සැමරීම ඇල් මැරුණු ස්වභාවයක් ගත්තේය. ජනරජ දිනය වෙනුවට එය ජාතික වීර දිනය ලෙස නම් කරනු ලැබුණි.
කෙසේ වෙතත් ජනරජ දිනයට ලොකුම අසාධාරණය සිදු කෙරුනේ සිරිමා බණ්ඩාරනායක මතිනියගේම දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුවෙනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිවාඩු දින ගණන අඩු කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මුලින්ම ඉවත් කරන ලද නිවාඩු දිනය වූයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ දිනයයි. එය ලෝකයේ යටත් විජිත පාලනයෙන් මිදුණු කිසිදු රටක් නොකළ දෙයක් විය යුතුය. ඉන්දියාව ජනරජ දිනය නිදහස් දිනයටත් වඩා ඉහලින් සමරන විට අපි එය මුළුමනින්ම අමතක කොට ඇත්තෙමු. අද අපි අපේ දෙවන නිදහස් දිනය ලෙස සලකන්නේ ත්‍රස්තවාදයෙන් මිදීම සමරන මැයි 19 වනදාය. නමුත් එය අපේ තුන්වන නිදහස් දිනය ලෙස හැඳින්විය යුතු අතර දෙවැනි නිදහස් දිනය විය යුත්තේ ජනරජ දිනයයි.
ජනරජ දිනය ජාතියේ දිනයක් නොව බණ්ඩාරනායක මැතිනියගේ දිනයක් ලෙස සැලකීම තුලින් මේ තත්ත්වය උද්ගතව ඇත. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බව කිව යුතුය. අනාගතයේ යම් දිනෙක පවතින ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් පත් වූ කල, ත්‍රස්තවාදයෙන් මිදුණු දිනයත් ජාතියේ දිනයක් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ සැමරුමක් ලෙස සලකා අමතක කිරීමට වුවද සූදානමින් සිටින දේශපාලකයන් සිටින්නට බැරි නැත.