Sunday, January 20, 2013

2013 අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය


අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය (Africa Cup of Nations) යනු අප්‍රිකාවේ විශාලතම අන්තර්ජාතික පාපන්දු තරඟාවලියයි. සෑම දෙවසරකට වරක්ම පැවැත්වෙන මෙම තරඟාවලිය ආරම්භ කෙරුනේ 1957 වසරේදීය. රටවල් තුනක සහභාගීත්වයෙන් පවතී එම තරඟාවලියේ ශූරතාවය දිනාගත්තේ ඊජිප්තුවයි. මෙතෙක් පැවති තරඟාවලි සියල්ලෙන්ම වැඩිම ගණනක (7) ශූරතාව දිනා ඇත්තේද එරටය.

අප්‍රිකා ජාතීන්ගේ කුසලානය ආරම්භ වූ සමයෙහි අප්‍රිකාවේ පාපන්දු ක්‍රීඩාව එතරම්ම ප්‍රචලිත වී නොතිබුන අතරම එම මහාද්වීපයේ බොහෝ රටවල් තවමත් යටත් විජිත වශයෙන් පැවතියේය. නමුත් කල් යත්ම තමනට පාපන්දු ක්‍රීඩාව හඳුන්වා දුන් යුරෝපීයයන්ටත් වඩා දක්ෂ පාපන්දු කණ්ඩායම් අප්‍රිකාවෙන් බිහි වන්නට විය. වසර 2000 වනවිට ලෝක කුසලානය අප්‍රිකානු රටක් විසින් දිනාගනු ඇතැයි එක අවස්ථාවක සුප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ විසින් ප්‍රකාශ කරන්නට ඇත්තේ එබැවිනි.

මුලින්ම ඔත්තේ සංඛ්‍යාත්මක අවුරුදුවල පැවැත්වුන අප්‍රිකානු කුසලානය 1968 සිට ඉරට්ටේ සංඛ්‍යාත්මක අවුරුදුවල පවත්වනු ලැබුනි. නමුත් මේ වසරේ සිට නැවත එය ඔත්තේ සංඛ්‍යාත්මක වසරවල පවත්වන්නට තීරණය කෙරුණි. ඊට හේතු වූයේ සෑම සිව් වසරකටම වරක් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සමඟ මෙම තරඟාවලිය ද පැවැත්වීම වැළැක්වීමටය. මේ අනුව 2012 ජනවාරියේ පැවති තරඟාවලියෙන් අවුරුද්දකට පසු 2013 දීද තරඟාවලියක් පැවැත්වීමට තීරණය විය. මෙම තරඟාවලිය මුලින්ම පැවැත්වීමට නියමිත වූයේ ලිබියාවේය. එහෙත් එරටෙහි ඇතිවූ සිවිල් යුධ වාතාවරණය හේතුවෙන් තරඟාවලිය දකුණු අප්‍රිකාවට ගෙනයාමට තීරණය විය. ඒ වෙනුවට 2017 තරඟාවලිය ලිබියාවේ පැවැත්වීමට නියමිතය.

අප්‍රිකාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත වීමට තිබූ ප්‍රධානතම බාධක දෙකක් වූයේ දේශපාලන අස්ථාවරභාවය සහ මූල්‍යමය ගැටලුය. කෙසේ වුවද, මේ බාධක මධ්‍යයේ වුවද අප්‍රිකාව ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ නමක් තබා ඇත. 1980 දශකයේදී කැමරූනය සහ ඇල්ජීරියාවත්, 1990 දශකයේ නයිජීරියාවත්, 2002 දී සෙනගාලය සහ 2006, 2010 වසරවලදී ඝානාවත් ලෝක කුසලානයේදී නමක් තැබූ අප්‍රිකානු කණ්ඩායම් වූහ. ක්‍රීඩාව ප්‍රචලිත වනවිට අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය සඳහාද සහභාගීත්වය වැඩි විය. 1996 වසරේ සිට, සුදුසුකම් ලැබීමේ තරඟවලින් තෝරාගන්නා රටවල් 16 ක් අවසන් තරඟාවලියට සහභාගී වෙති. (කෙසේ නමුත් 1996 දී නයිජීරියාව අවසන් මොහොතේ තරඟාවලියෙන් ඉවත් වූ හෙයින් පළමුවෙන් කණ්ඩායම් 16 ක් සහභාගී වූයේ 1998 දකුණු අප්‍රිකාවේ පැවති තරඟාවලියටය).

FNB ක්‍රීඩාංගනය (FNB Stadium, or the Soccer City), ජොහැනස්බර්ග්. 1989 දී විවෘත කෙරුණ මෙය ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා 2009 වනවිට නවීකරණය කෙරිණ. මේ 2010 ජූලි 3 වනදා ලෝක කුසලාන තරඟයක් පවතින අවස්ථාවය. Marcello Casal Jr/ABr, Wikimedia Commons.



වසර පහලවකට පසු මෙවර තරඟාවලිය යලිත් දකුණු අප්‍රිකාව කරා ගොස් ඇති නමුත් මෙවර නම් සත්කාරක රටට 1998 තරම් දස්කම් පෙන්වීමට නොහැකි වනු ඇති බව පෙනී යයි. 1998 යනු දකුණු අප්‍රිකානු පාපන්දු ඉතිහාසයේ ස්වර්ණමය යුගය විය. එවර අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය ඔවුන් විසින් දිනා ගන්නා ලදී. මෙවර A කාණ්ඩය යටතේ ඔවුන් තරඟ වදින අතර ඊයේ (එනම් ජනවාරි 19 වනදා) පැවති ආරම්භක තරඟයට ඔවුන් මුහුණ දුන්නේ කේප් වර්ඩ් දූපත් (Cape Verde) සමඟය. මෙහිදී දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු නොවූ පරිදි තරඟය ගෝල රහිතව නිම විය. A කාණ්ඩයේ අනෙක් තරඟය වූ ඇන්ගෝලාව සහ මොරොක්කෝව අතර තරඟයද ගෝල රහිතව නිමා විය.

කේප් වර්ඩ් දූපත් මෙවර අප්‍රිකානු කුසලානයට එක්වන එකම කෝඩුකාර කණ්ඩායමය. එහෙත් කාණ්ඩයේ කණ්ඩායම් හතරෙන් ලෝක පාපන්දු සම්මේලනයේ නවතම කණ්ඩායම් පෙළගැස්ම අනුව හොඳම ස්ථානය, එනම් 70 වෙනි ස්ථානය එම පිලට ලැබී ඇත. තවද, ඔවුන් මෙම තරඟාවලියට සුදුසුකම් ලැබුවේ අප්‍රිකානු පාපන්දු ක්ෂේත්‍රයේ පෙරළිකාර කණ්ඩායමක් වන කැමරූන් පිල ගෙදර යවමිනි. මේ අතර, සත්කාරක දකුණු අප්‍රිකාව ලෝකයේ 85 වන තැන සිටින අතර මොරොක්කෝව 74 වන තැනත්, ඇන්ගෝලාව 78 වන තැනත් රැඳී සිටිති.

ජනවාරි 20 දා (අද) පැවැත්වෙන B කාණ්ඩයේ තරඟවලදී ඝානාව ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය සමඟත්, මාලි රාජ්‍යය අසල්වැසි නයිජර් රාජ්‍යය සමඟත් තරඟ වදිති. (මෙය ලියන අවස්ථාව වනවිට මින් පළමු තරඟය අවසන් වී ඇති අතර දෙවැන්න ඇරඹීමට නියමිතය). දේශපාලන අස්ථාවරභාවය යටතේ වුවද මාලි පාපන්දු කණ්ඩායම මේ වනවිට ඉතා ප්‍රබල තත්ත්වයක පසුවන හෙයින් තරඟාවලිය තුල පෙරලියක් කරනු ඇතැයි බලාපොරොත්තු පලවී ඇත. මේ වනවිට එම කණ්ඩායම අප්‍රිකාව තුල තුන්වන තැනත් ලෝකයෙන්ම 25 වන තැනත් පසුවෙයි. අසල්වැසි නයිජර් රාජ්‍යය මූල්‍යමය අපහසුතා හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවේ ඉදිරියට පැමිණීමට නොහැකි වූ එක කණ්ඩායමකි. මෙවර තරඟාවලියේදී හොඳ දස්කම් දැක්වීම ඔවුනට ඉතා වැදගත් වනු ඇත.

මීට ටික වෙලාවකට පෙර ඝානාවේ එමානුවෙල් අග්යෙමන්ග්-බඩූ (Agyemang-Badu) මෙවර තරඟාවලියේ පළමු ගෝලය වාර්තා කළේය. මේ වනවිට ලෝකයේ 26 වන ස්ථානයේ රැඳී සිටින ඝානාව අප්‍රිකාවේ ප්‍රබලතම කණ්ඩායමකි. ඔවුහු මීට පෙර සිව් වරක් මෙම කුසලානය දිනා ඇත. කෙසේ වෙතත් ප්‍ර. කොන්ගෝ ජනරජයට එරෙහි තරඟයේදී 2-0 ක් ලෙස ඝානාව පෙරමුණ ගත්තද තරඟය අවසාන වූයේ 2-2 ලෙසය. මෙය ඝානාවට නම් එතරම් හොඳ ප්‍රතිපලයක් නොවේ. ප්‍ර. කොන්ගෝ ජනරජය ඝානාවට වඩා බෙහෙවින් පිටිපසින් සිටින කණ්ඩායමකි. මේ වනවිට ලෝකයේ 101 වන තැන එරට රැඳී සිටියි.

මෙවර තරඟාවලියේ පළමු ගෝලය වාර්තා කළ එමානුවෙල් අග්යෙමන්ග්-බඩූ, එංගලන්තයේ ආර්සනල් පිලට එරෙහිව ඉතාලි පාපන්දු සමාජයක් වන උඩින්සේ (Udinese) වෙනුවෙන් තරඟ වැදුන අවස්ථාවකි (2011 අගෝස්තු 16). Wikimedia Commons.



C කාණ්ඩය යටතේ වර්තමාන අප්‍රිකානු ශූරයින් වන සැම්බියාව මෙන්ම අප්‍රිකානු පාපන්දු ඉතිහාසයේ පෙරළිකාර කණ්ඩායමක් වන නයිජීරියාවද තරඟ වදිති. ඔවුනට කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් දෙක වන ඉතියෝපියාවෙන් සහ බුර්කිනාෆාසෝ රටෙන් එතරම් තර්ජනයක් නොවනු ඇතැයි අපේක්ෂිතය. ගියවර තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා වූ නායක ක්‍රිස්ටෝපර් කටොන්ගෝගේ මෙහෙයවීම යටතේ මෙවර සැම්බියා කණ්ඩායම සිය කිරුල රැකගැනීමට සටන් වදිනු ඇත.

D කාණ්ඩය තරඟාවලියේ "මාරක කාණ්ඩය" ලෙස සැලකිය හැක. මේ වනවිට අප්‍රිකාවේ හොඳම පාපන්දු කණ්ඩායම ලෙස ගැනෙන කෝටේ ඩිවා (Cote d'Ivore) හෙවත් අයිවරි කෝස්ට් දේශයත්, දෙවන හොඳම කණ්ඩායම වන ඇල්ජීරියාවත් මෙම කාණ්ඩය යටතේ තරඟ වදිති. තවද, කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන ටියුනීසියාව සහ ටෝගෝ රාජ්‍යයද පාපන්දු ක්ෂේත්‍රයේ නවකයින් නොවේ. මේ නිසා අවසන් ප්‍රතිපලය කෙසේ වුවද, අප්‍රිකාවේ හොඳම පාපන්දු කණ්ඩායම් දෙකකට ඊළඟ වටය අහිමි වීමට නියමිතය. මන්ද යත් D කාණ්ඩයේ කණ්ඩායම් හතරම ඉතා හොඳ කණ්ඩායම් බැවිනි.

මූලික වටයේ තරඟ ජනවාරි මාසය අවසාන වනවිට නිමා වනු ඇති අතර පෙබරවාරි 10 වනදා ජොහැනස්බර්ග් හි FNB ක්‍රීඩාංගනයේදී (FNB Stadium. Soccer City නමින්ද හැඳින්වේ) අවසන් තරඟය පැවැත්වීමට නියමිතය. එයින් ජයග්‍රහණය කරන කණ්ඩායම 2015 දී මොරොක්කෝවේ පැවැත්වෙන තරඟාවලිය තෙක් අප්‍රිකානු ශූරයින් ලෙස කිරුළු දරනු ඇත.

12 comments:

  1. සෙනගාලය කියලා අප්‍රිකානු රටක් පාපන්දු ලෝක ශුරතාවලියකට ආවා කියලා මතකයි. දැන් ඒ කණ්ඩායම ගැන මොකුත් කියවෙන්නේ නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. එයාලගේ හොඳම කාලය තමයි 2000-2006 කාලය. 2002 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට ආවා. (අන්තිම 8 දෙනාට) නමුත් 2006 ලෝක කුසලානයට ඔවුනට සුදුසුකම් ලබන්න බැරි වුනා. ඊට පස්සේ ඒ රටේ කණ්ඩායම ටිකක් පසු බැහැලා තියෙන බවක් පෙනෙනවා.

      Delete
    2. 2002 වසරේ ලෝක කුසලාන අර්ධ අවසාන පූර්ව වටයේදී පරාජය වුනේ තුර්කියට නේද?

      ආ තව එකක්...සෙනගාලය 2006 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයෙන් (FIFA World Cup Qualifying tournaments) ඉවතට වීසි වුනේ ටෝගෝ රාජ්‍යය හමුවේ පරාජය වු නිසා කියලයි මට මතක..

      Delete
    3. සෙනගාලය 2006 ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ නැත්තේ ටෝගෝ රාජ්‍යය නිසා තමයි. 2002 දී එයාලා තරඟාවලියේ පළමු තරඟයේදීම ලෝක ශූර ප්‍රංශ කණ්ඩායම පරාද කලාම ඇති වෙච්ච උද්‍යෝගය සහ පුදුමය මට තවම මතකයි. තුර්කියට පරාද වුනේ නැත්නම් බොහෝ වෙලාවට එයාලට අවසන් පූර්ව තරඟයේදී පරාජය අත් වෙන්න ඉඩ තිබුනා. මොකද එහෙම වුනා නම් එයාලට අවසන් පූර්ව වටයේදී හම්බ වෙන්නේ බ්‍රසීලය. ඒ වෙලාවේ නම් බ්‍රසීල කණ්ඩායම හිටියේ සක්කරයා ආවත් පරද්දන්න පුළුවන් තරම් හොඳ තත්ත්වයක.

      Delete
  2. ෆුට්බෝල් වලටනං මං එච්චරම කැමැත්තක් නෑ...
    අනේ මංදා ඇයි කියලා...

    ReplyDelete
  3. අනේ අප්පෝ මම නම් ආසම ක්‍රීඩාව.ක්‍රිකට් නම් බලන්නනේම නෑ

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි ඉන්න ඕන. :-) ඒ වුනාට ලංකාවේ නම් ෆුට්බෝල් අන්තිමයි. 1998 විතර ඉඳන් ලෝක පාපන්දු සම්මේලනය කණ්ඩායම් වර්ගීකරණය කරනවා. ඒ අනුව පහුගිය අවුරුදු 15 ක ඉතිහාසයේ නරකම තැන, ඒ කියන්නේ ලෝකයේ කණ්ඩායම් 207 කින් 190 වෙනි තැන ගිය දෙසැම්බරයේදී අපිට "දිනාගන්න" පුළුවන් වුනා. ආපදාවක් නැහැ. තව රටවල් දුසිමකටත් වැඩිය අපිට පිටිපස්සෙන් ඉන්නවා නේ.

      Delete
  4. මං දැකල නෑ කවදාවත් චීන්නු ජපන්නු ක්‍රිකට්, ෆුට්බෝල් වගේ සෙල්ලම් කරනව.. ඒකට හේතුව මොකක් වෙන්න ඇතිද ?

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසින්ගේ යටත් විජිත නොවීම.

      ෆුට්බෝල් කියන්නේ ඕන කෙනෙක්ට ඉගෙනගන්න පහසු, සරල සෙල්ලමක්. පටන් ගන්න ලොකු මුදල් හදල් තියෙන කෙනෙක් වෙන්නත් අවශ්‍ය නැහැ. සල්ලි හම්බ කරන්නත් පුළුවන්. බොහොම ක්‍රියාශීලී ක්‍රීඩාවක්. ඒ වගේ ගොඩක් හේතු තියෙන්න පුළුවන්. මම හිතන්නේ සරල බව නිසා තමයි ලෝකය පුරාම ගොඩක් මේ ක්‍රීඩාව පැතිරිලා ගියේ.

      චීන පිරිමි කණ්ඩායම නම් සාපේක්ෂව ගොඩක්ම දක්ෂ පාපන්දු කණ්ඩායමක් නෙවෙයි. නමුත් චීන ගැහැණු පිළ ලෝකේ හොඳම කණ්ඩායම්වලින් එකක්. උතුරු කොරියාව ගැනත් ඒකම කියන්න පුළුවනි.
      ඒකට හේතුව පිරිමි පාපන්දු ගොඩක් ප්‍රචලිත වුනාට ගැහැණු අය අතර මේ ක්‍රීඩාවේ යෙදීම පිරිමින් තරම් නොවීම වෙන්න පුළුවන්. ලෝකේ හොඳම පිරිමි සහ කාන්තා පාපන්දු කණ්ඩායම් දෙකක් ඉන්න රටවල් තියෙන්නේ අතලොස්සයි.

      Delete
  5. ඇත්තටම කිවිවොත් මෙචිචර කාලෙකට අහල නොතිබිබ දෙයක්..
    ගොඩාක් ස්තුතියි..
    ඇත්තටම මෙවිව කොහොමැයි දන්නේ ඇහ්?????

    ReplyDelete
    Replies
    1. තැනක් යූ ඈ!
      මට අසාධ්‍ය රෝග දෙකක් තියෙනවා නේ. එකක් රට රටවල් ගැන ඉගෙන ගැනීමේ ආසාව. අනික ෆුට්බෝල් පිස්සුව. ඉතින් ඒ රෝගවල ලක්ෂණයක් තමයි මේවා ගැන සොයා ගැනීම. :-)

      Delete