Friday, February 15, 2013

රුසියාවට ප්‍රහාරයක්! හැබැයි මේක උල්කාවක්.


යූරල් කඳු පාමුල පිහිටි, මිලියන 1.1ක් හෙවත් ලක්ෂ 11ක් ජනයා දිවි ගෙවන චෙල්යබින්ස්ක් නගරයේ ඉතිහාසය වසර 277ක් ඈතට දිවෙයි. මේ කාලය තුල එම නගර වැසියෝ ඒකාධිපති පාලනයන්, මහා සයිබීරියානු දුම්රිය මාර්ගය ඉදිකිරීම, රුසියානු සිවිල් යුද්ධය, ස්ටාලින්ගේ ඝාතන, සෝවියට් දේශය බිඳ වැටීම යනාදී විපර්යාසයන් දැක ඇත. නමුත් අද, එනම් 2013 පෙබරවාරි 15 වනදා උදෑසන සිදුවූ වැන්නක් මෑත ඉතිහාසයේ එම නගර වැසියෝ අත්විඳ නැත්තාහ.

"මම මුලින්ම දැක්කේ අහසේ වූ දීප්තිමත් ගින්නක්. ඉන්පසු දැවැන්ත පිපිරුමක් සිදුවුණා. ඉන් ජනෙල් බිඳී ගියා විතරක් නොවෙයි ජනෙල් රාමු පවා ගැලවී ආවා" රුසියානු ටෙලිවිෂන් (Russian TV-RT) සේවයට අදහස් දක්වමින් ටයිසියා අලබුසීනා නම් කාන්තාව ප්‍රකාශ කොට තිබුණි.

උල්කාවෙන් ඇති වූ දුමාරය, චෙල්යබින්ස්ක්. ඡායාරූපය නිකිතා ප්ලේහනොව්. (Chelyabinsk Meteor Trace 15-02-2013, Photo by Nikita Plekhanov), Wikimedia Commons.



චෙල්යබින්ස්ක් වේලාවෙන් උදෑසන 9.15 ට පමණ සිදු වූ මෙම සිද්ධියෙන් බොහෝ නගර වැසියෝ දැඩි ලෙස භීතියට පත්ව සිටියහ. ඇතැමුන් සිතුවේ පිටසක්වල ප්‍රහාරයක් එල්ලවන බවය. තවකෙක්ගේ මුල් සිතුවිල්ල වූයේ යුද්ධයක් ආරම්භ වී ඇති බවයි. කෙසේ නමුත් පසුව සත්‍ය සිද්ධිය, එනම් උල්කාපාත වැස්සක් වැටී උල්කා කිහිපයක් පොළවට වැටුන බව අනාවරණය වූ විට සමහර දෙනා සිතුවේ තවත් උල්කාපාත වැටෙනු ඇති බවයි. මේ අතර "උල්කා වැටෙනවා නම් චෙල්යබින්ස්ක් ඇරෙන්න වෙන තැනක් තිබුනෙම නැද්ද?" යයි මැසිවිලි නගන්නට ඇතැම්හු පෙළඹුනහ.

උල්කාපාත ප්‍රහාරයක් රුසියාවට එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. 1908 දී සිදුවූ ටන්ගුස්කා සිද්ධිය මින් ඉතාම ප්‍රකට සිද්ධියයි. මෙහිදී උල්කාවක් පොලව හා ගැටුන බවක් විශ්වාස නොකෙරේ. විශාල උල්කාවක් නිසා ඇතිවූ වායු ධාරා හේතුවෙන් මෙය සිදුවූ බව කියවේ. නමුත් මෙම සිද්ධිය සිදුවූයේ පොඩ්කමනායා ටන්ගුස්කා නම් ගංගාව අසල වනාන්තරයේ බැවින් මිනිසුන්ට මින් හානියක් නොවීය. එසේම මේ පිලිබඳ අධ්‍යයනයක් කිරීමට වසර ගණනක් ගත විය. කෙසේ නමුත් මෙම සිද්ධියෙන් මිලියන ගණනක් ගස් කඩා වැටුන බව සඳහන්ය.

ජනාකීර්ණ ප්‍රදේශවලට නොවැටුන හෙයින් චෙල්යබින්ස්ක් උල්කා 'ප්‍රහාරයෙන්' සිදුවූ තුවාල බොහෝ විට සිදුවූයේ කැඩී බිඳී ගිය වීදුරු කැබලි හේතුවෙනි. රුසියානු ටෙලිවිෂනය සඳහන් කල පරිදි 725 දෙනෙක් විවිධ වෛද්‍යමය ප්‍රතිකාර සඳහා යොමු වූ අතර 112 දෙනෙක් රෝහල්ගත වූහ. එයින් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව සඳහන් විය. නගරයේ විශාලතම දේපල හානිය සිදුව ඇත්තේ එහි වන සින්ක් ලෝහ කර්මාන්තශාලාවටය. එහි වහලයේ කොටසක් කඩා වැටුන බව වාර්තා වේ.

මේ අතර උල්කා කැබලි හේතුවෙන් සෑරුණ ආවාට තුනක් ඒ ආසන්න ප්‍රදේශවලින් සොයාගෙන ඇතැයි වාර්තා විය. මින් දෙකක් නගරය ආසන්නයේම ඊට බටහිරින් වන චර්බාකුල් විල අසලින් සොයාගෙන ඇති අතර ඉන් එකක් මීටර හයක විශ්කම්භයෙන් යුතුයැයි වාර්තා වේ. අනෙක් ආවාටය නගරයට වයඹ දෙසින් කිලෝමීටර 80 ක් පමණ ඈතින් සොයාගෙන ඇත. කෙසේ වුවද මේ ප්‍රදේශවලින් අසාමාන්‍ය විකිරණශීලීතා වාර්තා වී නැත.

චෙල්යබින්ස්ක් උල්කා වැටීම රුසියාවේ සහ කසාක්ස්ථානයේ යාබද ප්‍රදේශවලට දිස් වී ඇත. කසාක්ස්ථානයේ බලධාරීන් කියා සිටියේ එම රටට වැටුනේ යයි සිතන කැබලි දෙකක් සොයා පරීක්ෂණ පැවැත්වෙන බවය.

නුහුරු නුපුරුදු උපද්‍රවයකින් මිනිසුන් කෙතරම් බිය වන්නේද යන්න මෙම සිද්ධිය මගින් යලිත් පැහැදිලි විය. 2012 ලෝක විනාශය පිළිබඳ මතුවූ අනාවැකි පවා ඇතැමුන්ට මතකයට නැගුන බව නිසැකය. අද දින බරපතල ජීවිත හානි නොවූවද, විශාල උල්කාවක් ජනාකීර්ණ ප්‍රදේශයකට වැටීමේ අවධානමත්, ඒ පිළිබඳ මිනිසාට කළහැකි දේ අවම වීමත් ගැන මෙම සිද්ධිය හේතුවෙන් අවධානය යොමු වනු නිසැකය. චෙල්යබින්ස්ක් නගරය වාසනාවන්ත වූ පරිදි වෙනත් නගරයක් වාසනාවන්ත වේද යන්න අප තුල පැන නගින ගැටලුවයි.

16 comments:

  1. උල්කා රැසක් එක වර වැටෙද්දී හරි ලස්සනයි කියනවා නේද... ටන්ගුස්කා සිද්ධියේද කියල හරියට මතක නැතත් සාමාන්‍යයෙන් පෘථිවියේ දක්නට නැති ලෝහ කොටසක් හමු වුනා කියල කියවල තියනවා මං. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.
    පින්තුරය දැක්කම මතක් වුනේ පසුගිය කාලේදි ගගන ගාමීන් එක්ක උඩු ගුවනේදී දැවී ගිය අභ්‍යවකාශ යානය.

    ReplyDelete
    Replies
    1. ඔව්. උල්කා රැසක් එක වර වැටෙද්දී ලස්සනයි තමයි. :)

      අභ්‍යාවකාශ යානයත් උල්කාවත් වායුගොලයෙදී දැවෙන නිසා සමාන විදියට පෙනෙනවා ඇති. මම නම් හරියටම ඒ ගැන දන්නේ නැහැ.

      උල්කාවල ලෝහ සංයුතිය පෘථිවියට වැඩිය වෙනස් සංයුතියක් තියෙන්නේ. පොලවේ නිකල් සහ ඉරිදියම් වගේ ලෝහ ප්‍රතිශතය ඉතා අඩු වුනාට උල්කාවල එය ඉතා වැඩි වෙන එක ඊට උදාහරණයක්.
      එහෙම නැතුව පොලවේ නැති ලෝහ තියෙනවා නෙවෙයි. සංයුතියයි වෙනස්.

      Delete
  2. මෙවන් තත්ත්වයකට සූදානම් වී සිටිම කෙතරම් අගනේද යන්න අපට පසක් වනුයේ එක් සිදුවීමක් වීමෙන් අනතුරුවයි. නැවත කලක් යනවිට සියල්ල අමතක වී යන ස්වභාවය වැඩිය.
    පහත තිබෙනුයේ ඉහත අදාල උල්කාවේ වැටීමේ විඩියෝවක්
    http://www.youtube.com/watch?feature=player_embedded&v=90Omh7_I8vI

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ තියෙන්නේ සූදානම් වුනා කියලා අපිට ඒක නවත්වන්න පුලුවන්ද කියන එකයි... ඒක එකතරා ගැටලුවක්. උදාහරණයක් විදියට අද වෙච්ච මේ සිද්ධිය ගැන කලින් කිසිම අනතුරු ඇඟවීමක් වෙලා තිබුනේ නැහැනේ.

      ලින්ක් එක දැම්මාට පින්.

      Delete
    2. දාපං මලයා පහක්... විශ්වයේ වන දේ ගැන කියන්න තරම් අප කවුරුත් තාම දැනුම්වත් නැ.. අද අපේ වෙලාවේන් රැ 12ට ග්‍රාහකයක් යනවා කියලා කට්ටිය කියනවා

      Delete
    3. මෙන්න දැම්මා පහක්! :)
      මට මතක විදියට 12 සහ 1 අතර තමයි ග්‍රහකය එන්නේ..

      මුලින් වාර්තාවල කිව්වේ 500 ක් විතර තුවාල වෙලා කියලා. මම 725 කියලා දැම්මේ රුසියාවේ ක්රෙම්ලීනය යටතේම තියෙන Russian TV හෙවත් RT එකේ දීපු ගණන. දැන් බලද්දී, කම්පන තරංග වලින් වෙච්ච බලපෑම නිසා ඊටත් වඩා වැඩි දෙනෙක්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙලා තියෙනවාලු.

      Delete
  3. Replies
    1. නැහැ. ඒ දෙක එක ළඟ සිද්ද වෙච්ච සිද්ධි දෙකක් තමයි.
      නමුත් ඒවායේ සම්බන්ධයක් පෙනෙන්න නැහැ කියලයි කියන්නේ.

      Delete
  4. මේකේ උල්කාව කඩං වැටෙන එකේ වීඩියෝ එක දැක්කා...
    ලස්සන දර්ෂණයක් ප්‍රතිඵලය බියකරු උනාට....

    ReplyDelete
    Replies
    1. අනිවා...
      ලස්සන දේවල් භයානකයි. ගොඩක් ලස්සන දේවල් ගොඩක් භයානකයි! :)

      Delete
  5. Thank u vry mch for the post chamara..

    ReplyDelete
  6. සිද්ධිය ගැන කලින් දැනුවත් කිරීමක් වුනෙ නැති එක පුදුමයි.එහෙම වුණා නම් මිනිස්සුන්ට ඒ සිදුවීම වඩා ලස්සනට විදින්නත් තිබුණා!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට!

      එහෙම දැනගත්තා නම් විඳින්න තිබුනා වෙන්න පුළුවන්. නමුත් ඒ දැනගත්තත්, බැරි වෙලා හරි ජනාකීර්ණ ප්‍රදේශයකට වැටුනා නම්?.....

      Delete
  7. උල්කාවකුත් සමඟ ගොඩාක් විශබීජ එන බව මම කොහෙන් හෝ ඇහුවා මතකයි.. පොළව මත අලුත් ලෙඩ රෝග පැතිරීමේ අවධානමක් ඇතිවෙන්ඩත් පුළුවන්ලු.. ඒක ඇත්තද?

    ReplyDelete
    Replies
    1. මම දන්නා විදියට නම් බැක්ටීරියා වගේ ඒවායේ ෆොසිල තමයි හම්බ වෙලා තියෙන්නේ.

      එහෙම සජීවී බැක්ටීරියා තිබුනත් වායුගෝලය එක්ක ගැටෙද්දී දහනයෙන් ඇතිවන තාපය නිසා විනාශ වෙලා යයි මම හිතන්නේ.

      කෙසේ වුනත් මම මේ ගැන ඊට වැඩිය දෙයක් නම් දන්නේ නැහැ.

      Delete