කටුවන බලකොටුවේ දොරටුව සහ කොටු පවුරේ කොටසක් |
කටුවන ප්‍රදේශයේ ඉතිහාසය අනාදිමත් කාළයකට දිව යන බැව් අනුමාන කළ හැක. මහාවංශයේ සඳහන් වන අන්දමට 12 වන සියවසෙහි පරාක්‍රමබාහු රජු හා සටන් වැදුණ සුගලා දේවියගේ සෙබලු රැඳී සිටි ස්ථානයක් ලෙස කටුවන ප්‍රදේශය ගත හැක. වර්තමානයේ වුවද, කටුවන බලකොටුවේ පිහිටීම අනුව මෙම ස්ථානය මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් වන්නට ඇති බැව් පැහැදිලි වේ.
කටුවන ලන්දේසි බලකොටුවේ ඓතිහාසික වැදගත්කම ඉහළ නංවන මූලික සාධකය වන්නේ එය රට අභ්‍යන්තරයෙන් පිහිටි වඩාත්ම හොඳින් ආරක්ෂා වී ඇති ලන්දේසි බලකොටුව වීමය. තවද, පුරාවෘත්ත සහ ඓතිහාසික මූලාශ්‍ර එකට ගැලපීමෙන් කටුවන බලකොටුවේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවාගත හැක්කේය.
ලංකාවට 1505 සිට පැමිණි බටහිර ජාතීන් විසින් කෙමෙන් කෙමෙන් රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගන්නා ලද බැව් අපි දනිමු. සිය පාලන ප්‍රදේශයන් දේශීය මෙන්ම විදේශීය ප්ර්තිවාදීන් ගෙන් ආරක්ෂා කරගැනීම පිණිස ඔව්හු රටේ මූලෝපායිකව වැදගත්වන ස්ථානයන්හි බලකොටු ඉදි කළහ. පළමුවෙන් මෙසේ බලකොටුවක් ඉදි කරන ලද්දේ පෘතුගීසීන් විසින් කොළඹදීය. බොහෝ බලකොටු ඉදිකරවන ලද්දේ වෙරළබඩ ප්රදේශවලය. එහෙත් පසු කාලීනව, උඩරට රාජ්‍යයෙන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් මුහුදුබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීම මෙන්ම උඩරට ආක්‍රමණයකදී මූලස්ථාන ලෙස යොදා ගැනීම යන මූලික අරමුණු දෙකම පෙරදැරි කරගෙන උඩරට දේශසීමාව ආසන්නයේද බලකොටු ඉදිකරන ලදී. පෘතුගීසීන් විසින් මෙසේ ඉදිකළ බොහෝ බලකොටු අද වනවිට දක්නට නොලැබේ. මේ ඇතැම් බලකොටු ලන්දේසීන් විසින් වැඩිදියුණු කර ඇති අතර තවත් සමහර බලකොටු ඔවුන් විසින් අලුතෙන්ම ඉදි කරන ලදී. කටුවන, එසේ අලුතෙන්ම සෑදූ ලන්දේසි බලකොටුවකි.
1697 දී ඉදිකළ කටුවන බලකොටුව, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙලෙඳ සමාගමට අයත් වූ උතුරු දිග සීමාවේ, එනම් උඩරට රාජ්‍යයේ දකුණු දිග සීමාව ආසන්නයේ පිහිටවන ලද විශාලතම බලකොටුව වන්නේය. මෙම ස්ථානයේ මූලෝපායික වැදගත්කමට මූලික හේතුව වන්නේ බලකොටුව උඩරට කඳුකරයේ දකුණු සීමාවට මුහුණලා සිටීමයි. අද වනවිට රූස්ස ගස් වැවී තිබීම හේතුවෙන් බලකොටුවේ සිටින අයකුට බොහෝ දුර නොපෙනුනද, අතීතයේදී මෙම ස්ථානයට ඉතා ඈත ප්‍රදේශ මනාව දිස් වූ බව පුරාවෘත්තවල සඳහන් වේ.
1734 දී බලකොටුවට පැමිණි ලන්දේසි ඉතිහාසඥ යොහාන් වුල්ෆ්ගෑන්ග් හෙයිත් (Heydt), බලකොටුවේ එවක පැවති තත්ත්වය පිළිබඳ සඳහන් කරයි. ඔහු සඳහන් කරන අන්දමට බලකොටුව සමචතුරශ්‍රාකාර, කපරාරු කළ බිත්ති සහිත ගොඩනැඟිල්ලකි. එහි සමචතුරශ්‍රාකාර හැඩය මඳක් විකෘති වන්නේ ප්රතිමුඛ කොන් දෙකක වන මුරපලවල් (බැස්ටියන්) දෙකක් හේතුවෙනි. මේ එක් මුරපලක කාලතුවක්කු හය බැගින් වූ බැව් හෙයිත් සඳහන් කරයි.
බලකොටුවේ පැත්තක දිග අඩි 150 ක් වන අතර කොටු පවුර පිටතින් අඩි 20 ක් උසය. කොටු පවුර මත මංපෙත අඩි 10 ක් පළලින් යුතු බැව් හෙයිත් සඳහන් කරයි. බලකොටුවේ ඇතුලත චතුරශ්රාකාර මැද මිදුලක් වෙයි. කොටු පවුරට යාබදව පිහිටුවා ඇති ගොඩනැගිලි කිහිපයක පාදම් ද එහි දිස් වේ.
කටුවන බලකොටුවේ බිම් සැලැස්ම |
කටුවන බලකොටුව ලන්දේසි හමුදා විසින් භාවිතා කළේ 1761 වනතුරු පමණි. එම වසරේදී සිදු වූ උඩරට ආක්‍රමණය අවස්ථාවේ බලකොටුව අත හැර දමන ලදී. පුරාවෘත්තවල සඳහන් අන්දමට මෙම ප්‍රහාරයේ පෙරමුණ ගත්තේ මඩුවන්වෙල දිසාවේගේ පරම්පරාවේ කෙනෙකි. ඔහු ජය සංකේතයක් ලෙස බලකොටුවේ ගේට්ටුව ගලවාගෙන ගියේය. එය මඩුවන්වල වලව්වේ ගේට්ටුවක් ලෙස සවිකොට ඇත.
ඇතුලත මැද මිදුල |
බලකොටුව අත හැර දමන ලද පසු එය වනාන්තරයෙන් වැසී ගත්තේය. නමුත් පසු කාලීනව කටුවන නගරය කෙමෙන් කෙමෙන් ජනාකීර්ණ විය. 20 වන සියවසේ මුල් කාළයේ කටුවන රෝහල ඉදි කරන ලද්දේ කොටු පවුරට යාබදවය. පසු කාලීනව එය වෙනත් තැනකට ගෙනයන ලදී.
මේ අතර 2007 වසරේදී නෙදර්ලන්ත ආධාර ඇතිව කොටුවේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී. මේ අනුව ගරාවැටී තිබූ ප්‍රධාන ආරුක්කුව යථා තත්ත්වයට පත් කරන ලදී. තවද, කොටුපවුරේ ඉදිරි දොරටුව දෙසට වැටී ඇති මාර්ගය සකස් කොට එහි තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ලංකාවේ ලන්දේසි බලකොටු සහ දකුණු පළාතේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයන්නකුට කටුවන බලකොටුව දැක බලාගැනීම වටිනා අත් දැකීමක් වනු ඇත.