Saturday, May 24, 2014

මාලින්ද සෙනවිරත්න 2013 ග්‍රේෂන් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

මාලින්ද සෙනවිරත්න
අද අපට බොහොම සතුටුදායක දවසක්. අද සවස පවත්වන ලද ග්‍රේෂන් සාහිත්‍ය සම්මාන උළෙලේදී, 2013 වසර සඳහා වන ග්‍රේෂන් සම්මානය අපේ පුවත්පතේ කර්තෘ මාලින්ද සෙනවිරත්න මහතාට ප්‍රදානය කරනු ලැබීම එයට හේතුවයි. ඒ ඔහුගේ "Edges" කියන කවි එකතුව සඳහා.

මාලින්ද සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකීම හසළ දැනුමක් ඇති කෙනෙක්. නමුත් ඔහු පුවත්පත් කලාවේ නිරත වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ වගේම මාලින්දගේ පොතුත් ලියවෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔහු නිරන්තරයෙන් කවි ලියන කෙනෙක්. ඒ නිසාම පහුගිය වසර කිහිපයේම හැම අවුරුද්දක් පාසාම මාලින්ද අලුත් කවි පොතක් පළ කරන්න සමත් වුනා. මෑතකදී ඒ පොත් 5 ක් ආපහු මුද්‍රණය කෙරුනා. පහල එයිනුත් 4  ක්ම කලින් අවුරුදු 4 දී ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වුනා. මගේ දැනුමේ හැටියට මම හිතන්නේ වැඩිම වාර ගණනක් ග්‍රේෂන් සම්මානය සඳහා යෝජනා වුන නම මාලින්ද සෙනවිරත්න බවයි. නමුත් සම්මානය දිනුවේ මේ වතාවේ තමයි.

මීට පෙර ග්‍රේෂන් පදනමෙන්ම ප්‍රදානය කෙරුණ හොඳම පරිවර්තනය (සිංහලෙන් ඉංග්‍රීසියට) සඳහා වන H.A.I. ගුණතිලක සම්මානය මාලින්දට ලැබුණා. ඒ සයිමන් නවගත්තේගම මහතාගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පොතේ පරිවර්තනයට.

කවි පිළිබඳ මගේ දැනුම එච්චරම හොඳ නැති නිසා මට ලොකු ලොකු විචාරකයන් වගේ කවි ගැන මුකුත් කියන්න බැහැ. නමුත් මට දැනෙන දේ තමයි මාලින්ද බොහොම දක්ෂ විදියට වචන හසුරවමින් සංවේදී හැඟීමක් කියවන්නා තුල ඉතුරු කරන්න සමත් වන බව. ඒ වගේම මම කියවන්න බොහොම කැමති අංගයක් තමයි අපේ පුවත්පතේ විශේෂාංග ලිපි පළවන "FINE" කියන කොටසේ අන්තිම පිටුවේ මාලින්ද ලියන කවිය. එහි මාලින්ද ලියන්නේ කුමක් හෝ මාතෘකාවක් සම්බන්ධ පින්තූර එකතුවක් ගැන. අපි පින්තූර ගැන ගද්‍යයෙන් ලියනවාට වඩා අපූරුවට මාලින්ද ඒ ගැන පද්‍යයෙන් ලියනවා.

මෑතකදී නිකුත් කළ කවි පොත්
නිතර නිතර ලිව්වා කියලා මාලින්දගේ ලිවීමේ තත්ත්වය බාල වෙන්නේ නැහැ. මාලින්දට වඩා හොඳට ලියන්න පුලුවන් අය ඉන්නවා ඇති. ඊට වඩා වේගයෙන් ලියන්න පුලුවන් අයත් ඇති. නමුත්, එතරම් වේගයකින් එච්චර හොඳ තත්ත්වයේ නිර්මාණ කරන්න හැකි ය නම් හොයාගන්න හරිම අමාරුයි. භාෂා දෙකකින්ම ඒ දස්කම පෙන්නන්න හැකියාව තියෙන කෙනෙක් නම් හොයාගැනීම කළුනික හොයනවා වගේ දෙයක්.

නමුත් ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න වාසනාව අපට ලැබිලා තියෙනවා. මාලින්ද කියන්නේ හරිම සරල ගති පැවතුම් තියෙන කෙනෙක්. වෙලාවකට හිනහත් යනවා මාලින්දගේ වැඩවලට. මාලින්ද හොඳ ලේඛකයෙක් වගේම දක්ෂ චෙස් ක්‍රීඩකයෙක්. චෙස් ක්‍රීඩාවෙන් ඉගෙනගත්තු බොහෝ දේ ඔහු නිතර ප්‍රායෝගික ජීවිතයේදි භාවිතා කරනවා. ඒ වගේම මාලින් ද හොඳ බෞද්ධයෙක්. බෞද්ධ ඉගැන්වීම්වල කියවෙන දේවල් ඔහු බොහොම වෙලාවට ජීවිතයේදි උපයෝගී කරගන්නා බව අපි දැක තියෙනවා.

මම ඔහුගේ දකින වැදගත්ම දේ තමයි, ඔහු කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වීම​. මාලින් ද කියන කරන දේ ගැන අපි කැමති වෙන්න පුලුවන්, අකමැති වෙන්න පුලුවන්. නමුත් ඒ ඕනම දෙයක් ගැන කතා බහ කරන්න ඔහු සූදානම්. ඒ අතින් මාලින්ද බොහොම නිහතමානී, විවෘත කෙනෙක්.

වරක් මාලින්ද මට කියාපු දෙයක් මට මතක් වෙනවා. බොහෝ මිනිසුන් මුණ ගැහෙන්න ඔහු කැමතියි. ඒ හැම කෙනෙක්ටම කියන්න දෙයක් තියෙන්න පුලුවන්. ඒ දේවල්වලින් අපි යමක් ඉගෙන ගන්නවා. ඒ වගේම වඩාත් සංවේදී වෙන්න ඉගෙනගන්නවා.

මාලින්දගේ සාහිත්‍ය නිර්මාණවල යම් සාර්ථකත්වයක් තියෙනවා නම් එහි රහස ඒකයි කියලා මම හිතනවා.

9 comments:

  1. මාලින්ද මහතා දක්ෂයෙක්..

    මම ඔහුව හැදනගත්තේ මම ගත් ඡායාරූපයක් ඔහු පුවත් පතක පල කළ නිසයි. ඒ වගේම ඔහු මාව සොයාගෙන මට අමතා ඒ පිළිබඳව කතා බහ කළා. ඔහු දක්ෂයෙක් වගේම නිරහංකාර මිනිසෙක්..

    http://www.samindikasrimantha.blogspot.com/2012/01/blog-post_17.html

    ඔහුට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. මේ කතාව මටත් මාලින්ද කියලා තියෙනවා. කවුද දන්නෙ ඒක sAm ගත්තු එකක් කියලා... :)

      Delete
  2. මොකක්ද ඔය පුවත් පත...?
    ඔහු හරියට සනත් ගුණතිලක වගේයි නේද..?
    කොහොම වුණත් ඔහුට සුබ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. සනත් ගුණතිලක වගේ කිව්වෙ පෙනුමද​?
      අපේ පුවත්පත The Nation. රිවිර පත්තර කොම්පැණියෙ ඉංග්‍රීසි පත්තරේ. (මම සිංහලෙන් බ්ලොග් ලිව්වට වැඩ කරන්නෙ කඩ්ඩ පත්තරේ) :)

      Delete
    2. ඔව් ,පෙනුම ගැනයි කිවේ.
      //(මම සිංහලෙන් බ්ලොග් ලිව්වට වැඩ කරන්නෙ කඩ්ඩ පත්තරේ) :)//
      එහෙනම් සෙල්ලංද කොල්ලෝ කිවාලු.:D:D:D

      Delete
    3. අනේ මන් දා... අපේ බොස් නම් දැකුම් කලුයි. :)

      Delete
  3. ඔහුගේ ලිවීම ඉස්තරම්.. අපට කියවීමට පවා එඩිතර බවක් ගෙන දෙනවා. මම ඔහුගේ බ්ලොග් එක කියවනවා.. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම​.
      මාලින්දගේ බ්ලොග් දෙකක් තියෙනවා නෙ. malindawords.blogspot.com සහ malindapoetry.blogspot.com ඒ දෙක​..
      මම වැඩිපුර කියවන්නෙ නම් පළවෙනි එක​.

      Delete
    2. malinda words තමා මං කියවන්නේ

      Delete