Saturday, February 13, 2016

තෙල් මිල සියයට 12 කින් නගී

ඔපෙක් රාජ්‍යයන්හි තෙල් නිෂ්පාදනයෙහි සීමා කිරීමක් පිළිබඳ පළවූ වාර්තා හේතුවෙන් සිකුරාදා දිනයෙහි ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිළ සියයට 12 කින් පමණ ඉහළ ගියේය​.

ඇමරිකා එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙට්‍රෝලියම් ඇමති උපුටා දක්වමින් ඔපෙක් රටවල් නිෂ්පාදනය අඩු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා කළේය​.

මේ අතර වෙනෙසුවේලාවේ පෙට්‍රෝලියම් ඇමති එයුලෙජියෝ ඩෙල් පිනෝ ප්‍රකාශ කළේ මේ පිළිබඳ ඛනිජ තෙල් නිපදවන ඔපෙක් සාමාජික මෙන්ම සාමාජික නොවන රටවල් ද එකඟතාවකට පැමිණෙමින් ඇති බවයි.

මේ පිළිබඳ ඔහු බීබීසී සේවයට අදහස් දැක්වූයේ සෞදි අරාබියේ සහ රුසියාවේ සංචාරයකින් අනතුරුව වීම වැදගත් කරුණක්.

බ්‍රහස්පතින්දා වන විට ඇමරිකානු ඩොලර් 30 ටත් වඩා අඩු වූ බ්‍රෙන්ට් බොර තෙල්වල මිල සිකුරාදා වන විට ඩොලර් 33.36 වී තිබුණ අතර ඩොලර් 26.05 වූ ඇමරිකානු බොර තෙල්වල මිල ඩොලර් 29.44 දක්වා ඉහළ නැඟ තිබුණි.

කෙසේ නමුත් මෙම මාධ්‍ය වාර්තා පිළිබඳ සැක පළ කරන පිරිස් දක්වා සිටින්නේ මෙය වෙනෙසුවේලාවේ සහ රුසියාවේ උවමනාවට කෙරෙන ප්‍රකාශ මිස අවසන් එකඟතාවකට තවමත් පැමිණ නැති බවයි.

මේ අතර​, ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ එක්සත් ජනපදය සිය නිෂ්පාදනයන් පාලනය කිරීමට කටයුතු කිරීම බලාපොරොත්තු විය යුතු බවය. මෙම වසර අවසානය වනවිට ලෝක තෙල් මිල ඩොලර් 50 පමණ අගයකට පත් කිරීම ඔවුනගේ අරමුණ විය හැකි බව මෙම විශ්ලේෂකයින් මත පළ කළහ​.

No comments:

Post a Comment