Saturday, February 13, 2016

ලෝක කොටස් වෙළෙඳපොළවල වත්මන් කඩා වැටීමට ප්‍රධාන හේතු

ලෝක කොටස් වෙළෙඳපොළ පසුගිය සතියේ පැහැදිලි කඩා වැටීමකට ලක් වූයේය​. ආසියාවේදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වූ අතර ජපානයේ ටෝකියෝ කොටස් වෙළෙඳපොළ සියයට එකොළහකින් පමණ පහත වැටුණි. ලෝකයේ මතුවූ මෙම ප්‍රවණතාවය කෙරේ බල පෑ කරුණු කිහිපයකි.
Tokyo Stock Exchange (Pic: Stefan, Wikimedia Commons)

1. ඛනිජ තෙල් මිල පහළ යාම​: ලෝක වෙළෙඳපොළෙහි තෙල් බිල පහල වැටීම හේතුවෙන් තෙල් සමාගම්වල ලාභය පහත වැටෙනු ඇති බව ද​, එහෙයින්ම ඔවුන් ණය ලබාගෙන ඇති  බැංකුවලට එයින් බලපෑමක් එල්ල වේ යයිද යන බිය කොටස් වෙළෙඳපොළවලට බලපෑමක් කළේය​.

2. ඍණ පොළී අනුපාතික​: ජපානයෙහි යෙන් මුදල ඩොලරයට සාපේක් ෂව ශක්තිමත් වීමත් සමඟ අපනයන සමාගම්වල කොටස්වලට පහර වැදුණි. තවද​, භාණ් ඩ හා සේවාවල මිල වැඩිවීමේ වේගය අඩු වීම ආර්ථිකයට අසුබදායක වනු ඇතැයි වූ බිය ද කොටස් වෙළෙඳපොළ පරිහානියට හේතු විය​.

3. චීනයේ කොටස් වෙළෙඳපොළ අවප්‍රමාණ වීම​: ලෝකයේ නැගී එන ආර්ථික බලවතකු මෙන්ම බටහිර රටවල ආර්ථික අපහසුතා මධ්‍යයේ ස්ථාවරව සිටි ප්‍රබලම රට වූ චීනයේ කොටස් වෙළෙඳපොළ මෑතකදී දැඩි පසු බෑමකට ලක් විය​. එයටද මූලික වූයේ තෙල් මිල අවප්‍රමාණය වීමය​. පසුගිය සතියේ චීන නව වසර හේතුවෙන් එරට කොටස් වෙළෙඳපොළ වසනු ලැබ තිබුණි. මීළඟ සඳුදා දිනයේ යළි වීන වෙළෙඳපොළ විවෘත වන විට, ලෝක අවප්‍රමාණයන් ගේ බලපෑම චීනයට ද පැතිර යනු ඇතැයි යන බියක් ආර්ථික විශ්ලේෂකයන් තුළ පවතී.

4. ලෝක ආර්ථික අවපාතයක් කෙරෙහි වන බිය​: එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ (Federal Reserve Bank) ප්‍රධානී ජැනට් යෙලන් ගිය සතියේ ප්‍රකාශ කළේ කොටස් වෙළෙඳපොළවල මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් ආර්ථික අවපාතයකට සූදානම් වීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති බවයි. මෙම තත්ත්වය ද කොටස් වෙළෙඳපොළ කෙරෙහි අසුබදායී ලෙස බලපානු ඇත​.

5. බැංකු අර්බුධ​: යුරෝපයේ කළක් තිස්සේම පැවති අඩු පොළී අනුපාතික බැංකුවල ලාභාංශ කෙරෙහි අයහපත් බලපෑමක් එල්ල කොට ඇති අතර ඒවායේ ආදායම මෙන්ම ණයවලින් ලැබෙන ප්‍රතිලාභ ද අඩුවී ඇත​.

6. ලෝක දේශපාලනික තත්ත්වයන්: උතුරු කොරියානු මිසයිල අත් හදා බැලීමෙන් පසු දකුණු කොරියාව විසින් කේසොංග් (Kaesong) විශේෂ ආර්ථික කලාපය වසා දැමීමට තීරණය කළේය​. උතුරු කොරියාවේ පිහිටි මෙහි දකුණු කොරියානු සමාගම් 124 ක් ක්‍රියාත්මක වූ අතර උතුරු කොරියානුවන් 55,000 ක් රැකියා කළහ​. මෙම කලාපය වසා දැමීමෙන් පසු එහි ක්‍රියාත්මක වූ සමාගම්වල කොටස් මිල පහළ වැටුණි.

No comments:

Post a Comment