Sunday, February 28, 2016

අයර්ලන්ත මැතිවරණ ප්‍රතිඵල සභාග ආණ්ඩුවට අවාසිදායක වන ලකුණු

සිකුරාදා පැවැති අයර්ලන්ත මැතිවරණයේ ප්‍රතිඵල අද නිකුත් වීමට නියමිතය​. මේ වන විට ලැබෙන තොරතුරු අනුව, 2011 සිට එරට පාලනය කළ ෆින ගේල් (Fine Gael) සහ කම්කරු පක්ෂ සභාගයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් හිමි නොවන ලකුණු පහළ වී ඇත​.

මේ හේතුව නිසා, කුඩා පක්ෂවලට මෙම මැතිවරණ ප්‍රතිඵල වාසිදායක වනු ඇතැයි විචාරකයෝ අදහස් දක්වති. දැනට ලැබෙන තොරතුරු අනුව ඊළඟ රජය පිහිටුවීමට ඉඩ ඇත්තේ ෆින ගේල් ප්‍රමුඛ පුලුල් සභාගයක් හෝ ෆින ගේල් සහ ඊළඟ විශාලතම පක්ෂය වන ෆියන ෆොයිල් (Fianna Fáil) අතර මහා සන්ධානයකි. මෙම විකල්ප දෙකම සිදු නොවේ නම් මෙම වසර තුළ යළි මැතිවරණයක් පැවැත්වෙනු ඇත​.

2011 අයර්ලන්ත මැතිවරණය එරට ඓතිහාසික මැතිවරණයක් වූයේය​. එවක පාලක පක්ෂය වූයේ 1932 පටන්ම අයර්ලන්තයේ ප්‍රබලම තනි පක්ෂය වූ ෆියන ෆොයිල් ය​. නමුත් නරක ආර්ථික තත්ත්වය හමුවේ එරට වැසියෝ එම පක්ෂයට ඓතිහාසික පරාජයක් අත්කර දුන් හ​. එවක ආසන 165 ක් වූ පාර්ලිමේන්තුවේ ෆියන ෆොයිල් පක්ෂයට ලැබුණේ ආසන 20 ක් පමණි. ෆින ගේල් පක්ෂය ආසන 76 ක් දිනූ අතර කම්කරු පක්ෂය ආසන 37 දිනීය​. මේ දෙපක්ෂය එක්ව සභාග ආණ් ඩුවක් පිහිටුවන ලදී.

පසුගිය වසර පහේදී අයර්ලන්ත රජය 'පටි තද කිරීමේ' (austerity) ක්‍රියාවලියක් හඳුන්වා දීමෙන් ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙන ඒමට සමත් විය​. මෙම ආර්ථික ජයග්‍රහණය අගමැති එන් ඩා කෙනීගේ ප්‍රධානතම තුරුම්පුව විය​. නමුත් ජනතාව ඔහු හා එක සේ එකඟ නොවන බැව් පෙනී ගොස් ඇත​.

අයර්ලන්තයේ පාර්ලිමේන්තුවේ වර්තමාන ආසන සංඛ්‍යාව 157 කි. ෆින ගේල් පක්ෂය වැඩිම ආසන ගණනක් දිනන තනි පක්ෂය බවට පත් වේ යයි අනාවැකි පළ වන නමුත් කම්කරු පක්ෂය සැළකිය යුතු පසුබෑමක් පෙන්වනු ඇති බවත්, ෆියන ෆොයිල් පක්ෂය ආසන 40 ක් වත් ලබාගනු ඇති බවත් අනාවැකි පළවී ඇත​. මේ අනුව ප්‍රධාන පක්ෂ දෙක අතර විශාල වෙනසක් නොපවතිනු ඇත​.

මෙම පසුබිම යටතේ කුඩා පක්ෂ වැදගත් වනු ඇත​. අයර්ලන්තයේ සිව් වැනි විශාලම පක්ෂය වන්නේ සින් ෆෙන් පක්ෂයයි. 2011 දී ආසන 14 ක් ලබාගත්, මධ්‍ය-වාමාංශික සින් ෆෙන් (Sinn Féin) පක්ෂය මෙවරද සැලකිය යුතු ආසන ප්‍රමාණයක් බලාපොරොත්තු වෙයි. මේ අතර නව පක්ෂයක් වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද ආසන කිහිපයක් දිනා ගනු ඇතැයි අපේක්ෂිතය​. තවද 'පටි තද කිරීමට​' එරෙහි වමේ පක්ෂ කීපයක් ද ආසන කිහිපයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2 comments: