Monday, February 29, 2016

තිස් වසරකට පසු බ්‍රිතාන්‍යයට දිනපතා පුවත්පතක්

බ්‍රිතාන්‍යය පුවත්පත් කලාවේ ඉතිහාසය සහ වර්තමානය පිළිබඳ සැළකීමේදී විශේෂ ස්ථානයක් ගන්නා රටකි. අද දින​, එරටින් පුවත්පත් කලාවට සම්බන්ධ තවත් අපූරු, ඓතිහාසික පියවරක් වාර්තා විය​.

අද දින බ්‍රිතාන්‍යයේ ට්‍රිනිටි මිරර් පුවත්පත් ආයතනය විසින් නවතම දිනපතා පුවත්පතක්, The New Day නමින් හඳුන්වා දෙනු ලැබීය​. විශේෂත්වය වන්නේ මෙය වසර තිහකට පමණ පසු එරට අලුතෙන් නිකුත් වූ පළමු දිනපතා පුවත්පත වීමයි.

සිය දෙමාපියන් රැක බලාගන්නට සිදුවී තිබෙන කුඩා දරුවකු පිළිබඳ කවරයේ කතාවක් අද දින පුවත්පතෙහි ප්‍රධානතම අංගය වන අතර​, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට තර්ක කරමින් අගමැති ඩේවිඩ් කැමරන් ලියූ කොලමක්ද එහි අඩංගු ය​.

මුද්‍රිත පුවත්පත්වලට ඇති වෙළෙඳපොල කෙමෙන් අඩුවන සමයක වුවද​, නැවුම් ආරක පුවත්පතක් එළි දැක්වීමෙන් වෙළෙඳපොලෙහි රැඳී සිටීමේ හැකියාව තමනට පවතින බව The New Day පුවත්පත විශ්වාස කරයි.

"අප තවත් පුවත්පතක් පමණක් ඉදිරිපත් කළේ නම් එය අමනෝඥ ක්‍රියාවක් වනු ඇත​", පුවත්පතෙහි කර්තෘ මඩුල්ල ප්‍රකාශ කළේය​. "අප සතුව පුවත් ඇත​. අප කඩදාසියේ මුද්‍රිත පත්‍රයකි. නමුත් මෙම කරුණු දෙක හැරුණ කල​, වෙනත් සමානකමක් අප සහ අනෙක් පුවත්පත් අතර නොපවතී" යයිද ඔවුහු තව දුරටත් ප්‍රකාශ කළහ​.

කෙසේ වෙතත් සාමාන්‍ය පුවත්පතක පරිදිම ප්‍රහේලිකා, ලග්න පලාපල​, ගොසිප් ආදිය මෙම පුවත්පතෙහිද දකින්නට තිබුණි. කෙසේ වෙතත්, කවරයේ කතාවට අමතරව අප්‍රිකාවේ වසන ඇල්බිනෝ දරුවන් පිළිබඳ විශේෂාංගයක් ද ඇතුලත් වේ.

The New Day පුවත්පතෙහි ඉලක්ක වෙළෙඳපොල නම් වයස අවුරුදු 35-55 අතර වන ජනතාවය​. එමෙන්ම එය දේශපාලන වශයෙන් ස්වාධීනව සිටින බවට ප්‍රකාශ කර ඇත​.

අද දිනයේ පුවත්පත නොමිලේ බෙදා හැරෙන අතර හෙට සිට සති දෙකක් පැන්ස 25 කටද​, ඉන් පසු පැන්ස 50 කටද අලෙවි කෙරෙනු ඇත​.

The New Day පුවත්පත කල එළි බසින්නේ The Independent පුවත්පත මුද්‍රිත මාධ්‍යයෙන් ඉවත්ව මුලුමණින්ම ඉන්ටර්නෙට් පුවත්පතක් බවට පත්වන බව ප්‍රකාශ කර ඇති පසුබිමකය​. මාර්තු 26 වනදායින් පසු The Independent පුවත්පත මුද්‍රණය නොවන්නේය​.

මේ අතර ට්‍රිනිටි මිරර් ආයතනයේ ප්‍රධානතම පුවත්පත වන ඩේලි මිරර් පුවත්පතෙහි අලෙවිය ද ගිය වසරට සාපේක්ෂව සියයට 12 කින් පමණ අඩු වී තිබේ.

2 comments:

  1. මේ ගැන අජිත් ධර්මත් හොද ලිපියක් ලියලා තිබුණා..... මේ තත්වය ලෝකයට ම පොදු තත්වයක් යන්නත් ඒ තුළින් පෙනෙන්නා වූ ඔන්ලයින් පුවත්පත්වල අවශ්‍යතාවය සහ අනාගතය ගැනත් ඔහු ලියලා තිබුණා මතකයි.....

    ලිපිය අගෙයි

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා! කොහොම වුනත් අපි ලියාපු ලිපියක් පත්තරේක ගිහින් තියෙනව දකින එකේ පොඩි අමුතු ගතියක් තියෙනවා. පත්තරයක් පෙරලල බලන එකෙත් අමුතු ගතියක් තියෙනවා. අනෙක ඉන්ටර්නෙට් ලෝකෙ හැම තැනම එක වගේ ආවරණය කරන්නෙ නැහැ. මේ කරුණු නිසා තව බොහෝ කළක් යනකල් මුද්‍රිත පත්තර නැති වෙන එකක් නැහැ.

      Delete