Sunday, May 15, 2016

පළමු ලෝක යුද්ධය: තුර්කිය යුද්ධයට එක් වෙයි

කළක් යුරෝපයේ ප්‍රබලම රාජ්‍යය ලෙස සැළකිය හැකිව තිබූ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය 19 වන සියවස මුලුල්ලේ කෙමෙන් පරිහානිය කරා ගමන් කරමින් තිබිණ​. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ ප්‍රතිපත්තිය වූයේ දුර්වල තුර්කි අධිර්ජ්‍යය නොවැටී ආරක්ෂා කරගැනීමය​. එහි යටි අරමුණ නම් මධ්‍යධරණී ප්‍රදේශවල රුසියානු අණසක් පැතිරවීමට එරෙහි බාධකයක් ලෙස තුර්කිය යොදාගැනීමට හැකි වීම විය​.

කෙසේ වෙතත් 19 වන සියවස අවසන් කාළයෙහි ජර්මන් සහ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයයන් අතර මිත්‍රත්වය වර්ධනය විය​. බර්ලින් සිට බැග්ඩෑඩ් දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ අවශ්‍යතාව මෙහිදී ජර්මනියට ඉතා වැදගත් සාධකයක් විය​. එමෙන්ම තුර්කි හමුදා ප්‍රතිසංස්කරණය කිරීම පිණිස ජර්මන් නිලධාරීන් ද යවන ලදී.
1914 දී ඔටෝමන් අධිරාය්‍යය

20 වන සියවස මුල් කාළයේදී තුර්කියේ මතුවූ නව දේශපාලන ව්‍යාපාරයක් වූ යෞවන තුර්කි ව්‍යාපාරය මීළඟ දශකයකට මඳක් වැඩි කාළය තුළ තුර්කියේ දේශපාලනය කෙරෙහි දැඩි බලපෑමක් කළේය​. 1908 දී ඔවුන් විසින් සුල්තාන් දෙවන අබ්දුල් හමීඩ්ගේ රජයට එරෙහිව කළ විප්ලවයකින් පසු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ දිනා ගන්නා ලදී.

යෞවන තුර්කි ව්‍යාපාරය තුළ වූ අභ්‍යන්තර බල අරගල අවසානයේ 1913 දී එකමුතුකම සහ ප්‍රගමනය පිළිබඳ කමිටුව (Committee on Union and Progress - CUP) විසින් තුර්කියේ බලය ලබා ගන්නා ලදී. එහි ප්‍රධානීන් වූයේ අගමැති තලාත් පාෂා, යුධ ඇමති එන්වර් පාෂා සහ නාවුක කටයුතු ඇමති ජෙමාල් පාෂා ය​. මෙම පාෂාවරුන් තිදෙනාගේ රජය තුර්කිය ජර්මනිය කෙරෙහි නැඹුරු වීම වේගවත් කළේ ය​.

1914 ජූලි මාසයේදී බ්‍රිතාන්‍යය විසින් එරටෙහි නෞකා අංගනවල තුර්කිය සඳහා ඉදිකරමින් පැවති යුධ නැව් දෙකක් සිය භාරයට ගැනීමත් සමඟ තුර්කිය එම රට සමඟ අමනාපයක් ඇති කරගත්තේය​. මේ අතර 1914 අගෝස්තු මුල දී තුර්කිය සහ ජර්මනිය අතර රහස්‍ය එකඟතාවයකට පැමිණෙන ලදී.

කෙසේ වෙතත් මෙම රහස්‍ය එකඟතාවය කෙරෙහි තුර්කි රජයේ ඇතැම් පිරිස් එතරම් සහයක් නොදැක්වූ බව කියැවේ. එරට සුල්තන්වරයාට අවශ්‍ය වූයේ තුර්කිය මධ්‍යස්ථව තබා ගැනීමය​.

කෙසේ නමුත් කරුණු සීඝ්‍රයෙන් ගමන් කළේ යුද්ධයට තුර්කිය ඇතුලත් වීම දෙසටය​. මේ වනවිට තුර්කි නාවික හමුදාවල අණදෙන නිලධාරියා වූයේද ජර්මන් නිලධාරියකු වූ (පසුව අද්මිරාල් ධූරයට උසස් කෙරුණ​) විල්හෙල්ම් සෞෂන් (Wilhelm Souchon) ය​.

සෞෂන් අගෝස්තු මාසය වනතුරු ජර්මන් අධිරාජ්‍යයීය නාවුක හමුදාවේ මධ්‍යධරණී බල ඇණියෙහි අණ දෙන්නා වූයේය​. ඔහුගේ බල ඇණිය වූයේ ගෝබන් සහ බ්‍රෙස්ලාවු නම් නෞකා දෙකකි. අද්‍රයාතික් මුහුදෙහි නවතා තිබූ මෙම නෞකා අගෝස්තු මස මුලදී වහා ඉවත් කරගැනීමට කටයුතු කළ සෞෂන්, බ්‍රිතාන්‍ය නාවික හමුදාව තමන් ලුහු බඳිද්දී තුර්කිය දෙසට පළා ගියේය​. තුර්කිය ඔහුට ආරක්ෂාව ලබා දීමට එකඟ වූ අතර අගෝස්තු 12 වනදා ඔහුට තුර්කි නෞකා හමුදාවට එක් වීමට අවසර ලැබුණි.

බල්ගේරියාව සහ තුර්කිය අතර මේ වනවිට ද එකඟතාවයක් අත්සන් කොට තිබුණි. මෙම එකඟතාවට හේතු වූයේ විශාල බලවතුන් සමඟ වූ එදිරිවාදිකමකට වඩා දෙරටේම පොදු විරුද්ධවාදියකු වූ ග්‍රීසිය දෙස අවධානය යොමු කිරීමය​.
පළමු ලෝක යුධ සමයේ තුර්කි යුධ ඇමති වූ එන්වර් පාෂා

තුර්කිය යුද්ධයට අවතීර්ණ වූයේ 1914 ඔක්තෝබර් 29 වනදා හිමිදිරි පාන්දර රුසියානු අධිරාජ්‍යයට එවකට අයත්ව තිබූ ඔඩෙස්සා නගරයට නාවික හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙනි. මෙහි දී තුර්කි හමුදාවලට අණ දෙන ලද්දේ විල්හෙල්ම් සෞෂන් ය​. මෙම සටනේදී රුසියානු නෞකා දෙකක් ගිල්වනු ලැබුණ අතර තව එකකට හානි සිදු විය​. තුර්කි හමුදාවලට කිසිදු හානියක් වූ වග වාර්තා නොවේ. මේ වනවිටත් තුර්කිය රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කර තිබුණේ නැත​.

නොවැම්බර් 2 වනදා රුසියාව තුර්කියට එරෙහිව යුධ ප්‍රකාශ කළ අතර​, නොවැම්බර් 5 වනදා බ්‍රිතාන්‍යය ද තුර්කියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​.

මේ අතර නොවැම්බර් 1 වනදා ජෙනරල් ජෝර්ජි බ්‍රෙග්මාන් යටතේ වූ රුසියන් හමුදා කොකේසස් දේශසීමාවෙන් තුර්කිය වෙත කඩා පැන්නහ​. ඔවුහු මුලදී සාර්ථක ලෙස ඉදිරියට පැමිණියත් සතියකට පසු ඇරඹි තුර්කි ප්‍රතිප්‍රහාර හමුවේ පසුබැස ගියහ​. නොවැම්බර් 17 පමණ වනවිට එම සටන් පෙරමුණ තාවකාලිකව ස්ථාවර විය​. සීත ඍතුව එළඹෙමින් තිබුණ හෙයින් කොකේසස් පෙරමුණට මද විරාමයක් ලැබිණ​.

කළින් ලියූ ලිපි පෙළ​

* පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

* පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

* පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

* පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

6 comments:

  1. Today is I come to reed this blog. Nice story you write.

    ReplyDelete
  2. මමත් කැමති ජාතියේ ලිපියක් ..ජය

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා. අද එනව තව එකක් :)

      Delete
  3. නියමයි මචන්. ලිපි අනුපිලිවෙල හොයා ගන්න ටිකක් අමාරු උනා

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ

      ඇත්තෙන්ම ඔක්කොම ලින්ක් එක දිගට දැම්මොත් පෝස්ට් එක තරම්ම දිග වෙන නිසා දැම්මෙ නැත්තෙ :)

      මේකෙ අන්තිමට තියෙනව පළවෙනි ටික පිළිවෙලට​

      http://asidisimaanaya.blogspot.com/2016/05/blog-post_37.html

      Delete