Thursday, May 26, 2016

ඇෆ්ඝන් තලේබාන් සංවිධානයේ නව නායකයා

ඇෆ්ඝන් තලේබාන් සංවිධානයේ නව නායකයා ලෙස හයිබතුල්ලා අකුන්ද්සාදා පත් කරන ලද බව එම සංවිධානය ඊයේ, එනම් මැයි 25 වනදා, ප්‍රකාශ කළේය​.

තලේබාන් සංවිධානයේ ඉහළම පාලනාධිකාරිය වන ෂූරා කවුන්සිලය විසින් එම පත්වීම ඒකමතිකව සම්මත කරන ලද බැව් එම සංවිධානය කියා සිටියේය​.

මේ අනුව ඇෆ්ඝන් තලේබාන් සංවිධානයේ තුන්වන නායකයා බවට අකුන්ද්සාදා පත් වූයේය​. ඒ එහි ආරම්භක නායක මුල්ලා මොහොමඩ් ඔමාර් සහ මුල්ලා මන්සූර්ට පසුවය​.

අකුන්ද්සාදා එම තනතුරට පත් වූයේ පසුගිය සෙනසුරාදා පාකිස්ථානයේදී ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය මුල්ලා මන්සූර්ගේ ස්ථානය ගැනීමටය​. දැනට වයස අවුරුදු 50 ගණන්වල මුල් අවධියේ සිටින්නේ යයි සැලකෙන අකුන් ද්සාදා කලින් ඇෆ්ඝන් තලේබාන් නායකයින් දෙදෙනාටම වඩා වෙනස් අයෙකි. මක් නිසාද යත්, කලින් නායකයින් දෙදෙනාම හමුදා නායකයින් වෙද්දී අකුන්ද්සාදා හමුදාමය පසුබිමක අයකු නොවන බැවිනි.

අකුන්ද්සාදා ඉස්ලාම් දහම පිළිබඳ උගතකු සහ හිටපු තලේබාන් යුධ අධිකරණ විනිසුරකු ලෙස සලකනු ලැබේ.

මේ අතර​, තලේබාන් නියෝජ්‍ය නායකත්වයට පත්ව ඇත්තේ දැඩි මතධාරී මිලිටරි නායකයකු වන සිරයුද්දින් හකානි සහ මුල්ලා යාකුබ් ය​. හකානි යනු පකිස්ථානය කේන්ද්‍ර කරගත් හකානි ජාලයේ නායකයා ය​. ඔහුට පකිස්ථානයේ ප්‍රබල කණ්ඩායම්වල සහය ලැබෙන බව පැවසේ. මුල්ලා යාකුබ් යනු ඇෆ්ඝන් තලේබාන් සංවිධානයේ නිර්මාතෘ මුල්ලා මොකොමඩ් ඔමාර්ගේ පුතෙකි.

හකානි සහ යාකුබ් මුල්ලා මන්සූර් යටතේද නියෝජ්‍ය නායකත්වය දැරූහ​. අකුන්ද්සාදා ද එවක තලේබාන් නියෝජ්‍ය නායකයකු විය​.
තලේබාන් පාලනය යටතේ වන ප්‍රදේශ තද දුඹුරු පාටින් (නිව් යෝර්ක් ටයිම්ස්, අප්‍රේල් 29, 2016)

තලේබාන් සංවිධානයේ විවිධ බෙදීම් සහ ඉරි තැලීම් සමනය කිරීම කෙරෙහි අකුන්ද්සාදා සාර්ථක වනු ඇතැයි ඇතැම් විචාරකයන් මත පළ කර තිබේ. මුල්ලා ඔමාර්ගේ මරණින් පසු මුල්ලා මන්සූර් බලයට පත්වීම කෙරෙහි ඇතැම් තලේබාන්වරුන් සතුටින් පසු වූයේ නැත​. එයට එක හේතුවක් වූයේ මන්සූර්, ඔමාර් මෙන්, නූර්සායි ගෝත්‍රයේ අයකු නොවූ බැවිනි. අකුන් ද්සාදා එම ගෝත්‍රයේ අයෙකි.

මේ අතර තලේබාන් හමුදාමය අංශය වැඩි වැඩියෙන් සිරයුද්දින් හකානි අතට පත් වීමේ ඉඩක් ද පවතින බව මේ අතර අදහස් පළ වෙමින් පවතී. ඇෆ්ඝනිස්ථානය තුලදී තලේබාන්වරුන් පසුගිය සමය තුළ සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාර ගණනාවකටම වගකිව යුතු වූයේ හකානිගේ ජාලයයි.

හකානිගේ බලය වැඩිවීම තුල ඇෆ්ඝන් යුද්ධය තවත් දරුණු වනු ඇතැයි ඇතැම් විචාරකයන් බිය පළ කර තිබේ.

No comments:

Post a Comment