Tuesday, May 31, 2016

ඉරාක හමුදා ෆලූජා වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කරති

ඉරාක හමුදා ISIS ත්‍රස්තයින් අත පවතින ෆලූජා නගරය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබේ.

ඊයේ දිනයේ මිත්‍ර සන්ධාන රටවල ගුවන් ප්‍රහාරවල සහය ද ලබමින් ඉරාක හමුදා ෆලූජා නගරය වෙත එල්ල කෙරෙන නව මෙහෙයුමක් ඇරඹූහ​. ඒ සතියක් මුලුල්ලේ නගරය අවට ප්‍රදේශවල කෙරුණ හමුදා මෙහෙයුම්වලින් අනතුරුවය​.

ෆලූජා නගරය තුළ දහසක පමණ ISIS සටන්කාමීන් පිරිසක් සිටින බව විශ්වාස කෙරෙන අතර 50,000 ක පමණ සිවිල් වැසියන් පිරිසක් නගරයෙහි සිරවී සිටින බවද අනුමාන කරනු ලැබේ. ISIS ත්‍රස්තයින් එම සිවිල් වැසියන් බලයෙන් රඳවාගන සිටින බව වාර්තා වේ.

නගරයේ උග්‍ර ආහාර සහ පානීය ජල හිඟයක් ද පවතින බව වාර්තා වේ.

ෆලූජා නගරය මෑත ඉරාක ඉතිහාසයේ වැදගත් නගරයකි. සුන්නි මුස්ලිම්වරුන් වසන මෙම නගරය 2003 ඇමරිකානු ආක්‍රමණයෙන් පසු ඇතිවූ කැරළිවලදී උග්‍ර සටන් සිදුවූ නගරයකි. 2004 මාර්තු-අප්‍රේල් සමයෙහි නගරයෙහි සිටි කැරළිකරුවන් පළවා හැරීමට ඇමරිකානු හමුදා විසින් කරන ලද උත්සාහයක් ව්‍යර්ථ වූයේය​. ඇමරිකානු හමුදා නගරයේ පාලනය අල්ලා ගත්තේ එම වසරේ නොවැම්බර්-දෙසැම්බර් කාළයේ සිදු වූ දෙවන ෆලූජා සංග්‍රාමයෙන් පසුවය​.

මේ හේතුව නිසා මෙන්ම බැග්ඩෑඩ් නගරයට ආසන්න නිසාවෙන් ද ෆලූජා නගරය වැදගත් ස්ථානයක් ගනී. මෙහි සිට කිලෝමීටර 70 කට අඩු දුරකින් නැගෙනහිරට වන්නට බැග්ඩෑඩය පිහිටා තිබේ.

තවද ISIS ත්‍රස්තවාදීන් අතට පත් වූ පළමු ප්‍රධාන පෙළේ ඉරාක නගරය මෙය වූ අතර අද වනවිට උතුරේ පිහිටි මෝසුල් නගරය හැරුණ විට ඉරාකය තුළ ත්‍රස්තයින් විසින් පාලනය කරනු ලබන විශාලම නගරය ෆලූජා වේ.

No comments:

Post a Comment