Friday, May 27, 2016

ඉරාකයේ ෆලූජා නගරය නිදහස් කරගැනීමට​ 'මානුෂීය මෙහෙයුමක්'

ඉරාක හමුදා ISIS ත්‍රස්තවාදීන් අත පවතින ෆලූජා නගරය අල්ලාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. පසුගිය සතිය තුළ ඔවුහු නගරය අවට උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක්ම අල්ලාගත් හ​.

බිම් බෝම්බ සහ අගල් පද්ධති මගින් ත්‍රස්තවාදීන් ඔවුන් රැඳී සිටින ස්ථාන සුරක්ෂිත කරගැනීමට උත්සාහ ගනිමින් සිටින අතර ඉරාක හමුදා විසින් එම ස්ථාන වෙත රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබේ.

මෙම මෙහෙයුම්වලට ඉරාක හමුදාව​, පොලිස් ත්‍රස්ත විරෝධී බල ඇණි, ප්‍රාදේශීය ගෝත්‍රික කණ්ඩායම් සහ ෂියා මිලීෂියා භටයින් සමඟ 20,000 ක පමණ පිරිසක් සහභාගී වෙති. ඔවුනට එරෙහිව ෆලූජා නගරයේ රැඳී සිටිනුයේ සටන්කාමීන් දහසක පමණ පිරිසක් බව විශ්වාස කෙරේ.
Map credit: Washington Post

කෙසේ වෙතත් දැනට ඉරාක හමුදා සතුව ඇති විශාලතම අභියෝගයක් වන්නේ නගරයේ සිවිල් වැසියන් ආරක්ෂා කරගැනීමය​. ඔවුනට පිටවී යාමට මාර්ග කිහිපයක් හමුදාව විසින් ප්‍රකාශයට පත් කර ඇති නමුත් 50,000 ක පමණ සිවිල් වැසියන් පිරිසක් ත්‍රස්තවාදීන් විසින් බලෙන් රඳවාගෙන සිටින බව වාර්තා වේ. ඔවුන් ආහාර සහ පානීය ජලය හිඟකමින් පීඩා විඳින බව වාර්තා වේ.

මේ හේතුවෙන් සිවිල් වැසියන් ගලවා ගැනීම සඳහා ඉරාක හමුදාවලට 2009 දී ශ්‍රී ලංකා හමුදා සිදු කළ ආකාරයේ "මානුෂීය මෙහෙයුමක්" දියත් කිරීමට සිදු වනු ඇතිදැයි සැකයක් පහළ වී ඇත​.

ෆලූජා නගරය නැවත අල්ලා ගැනීම ඉරාක හමුදාවලට වැදගත් ජයග්‍රහණයක් වනු ඇත​. ෆලූජා යනු ISIS ත්‍රස්තවාදීන් ගේ පාලනයට නතු වූ පළමු ඉරාක නගරයයි. එමෙන්ම එය සුන්නි මුස්ලිමානුවන් වසන නගරයකි. බැග්ඩෑඩ් අගනුවර සිට ෆලූජා නගරයට ඇත්තේ කිලෝමීටර 69 ක පමණ දුරකි.

No comments:

Post a Comment