Wednesday, May 25, 2016

ගංවතුර පිළිබඳ කළින් අනාවැකි කිව නොහැකි වීද​?

පසුගිය දිනවල කැළණි ගං මිටියාවතේ ඇතිවූ ගං වතුර තත්ත්වය පිළිබඳ විවිධ අදහස් මතුවෙමින් පවතී. ඒ අතර රජයට එල්ලවන විවේචන ද බොහෝය​.

මේ එවැන්නකි. මේ පිළිබඳ බලධාරීන් පමණක් නොව පුරවැසියන් ද දැනුවත් විය යුතුය​.

උපුටා ගැනීම: සයිබර වරිගෙ උණ්ඩියා / Facebook

වාරිමාර්ග ඉංජිනේරුවෙකු සමග දීර්ඝ සාකච්ඡාවක් කළා....ඔහු අග්නිදිග ආසියාවේ සේවයේ නියුතුව සිට මේ අවස්ථාවේ මව් රටට පැමිණි කෙනෙක්.....

කැළණි ගඟේ ජල මට්ටම මනින ස්ථානයන් සහ ඒවායේදී මැනීම් සඳහා යොදාගන්නා තාක්ෂණය, මින් පෙර ඒ ඒ ස්ථානයන්හිදී ලද කියවීම්, ආදිය ඇතුළත් දත්ත වාර්ථාවක් අතැතිව ඔහු මට පැවසූ දෙය අනුව -

කැළණි ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට අධික වැසි වැටුණු විට, ගං වතුර ආපදාවක් ඇතිවන්නේ සෑම තැනකම එකවර, එකම කාළයකට නොවේ....ගං වතුර තර්ජනය වනාහී ගඟට ඉහළින් එක්වන අතිරික්ත ජල ධාරිතාවය පහළට ගලා එන විට ඒ, ඒ ප්‍රදේශ යටවෙමින් ක්‍රමානුකූලව සිදුවෙමින් පැමිණෙන්නකි......

කැළණි ගඟේ ජල මට්ටම මනිනු ලබන්නේ අනුපිළිවෙලින් පහත සඳහන් ස්ථානයන් හි පිහිටි මැනුම් ස්ථාන වලින්ය...ඉහළ අක්වැසි වලින් ගඟට එකතුවෙන අතිරික්ත ජලය මේ ස්ථානයන් කරා අනුපිළිවෙලින් පැමිණේ.....

නෝවුඩ් >>> කිතුල්ගල >>> දැරණියගල >> හොලොම්බුව >>> ග්ලෙන්කෝස් >>> හංවැල්ල >>> අවසාන මිනුම් ස්ථානය හෙවත් නාගලගං වීදිය....

මෙම ඉංජිනේරු මහතා පවසන අන්දමට දැරණියගලින් පහළට ඇත්තේ කැළණි ගං මිටියාවතේ පහත් බිම් නිසා ඉතාම පහසුවෙන් ඒ එක් එක් ස්ථානයන් ජලයෙන් යටවනවිට, එම ස්ථානයේ සිට ඉදිරියට පවතින ස්ථානයන් අවට ගම්, නගර ජලයෙන් යටවනුයේ තව කොපමණ වේලාවකින්දැයි සැළකිය යුතු තරම් නිරවද්‍ය භාවයකින් යුතු අනාවැකි ඉදිරිපත් කළ හැක.....වතුර මට්ටම වැඩිවෙමින් පවතින බවට අනතුරු අඟවමින් ප්‍රදේශ වාසීන්ට ආරක්ෂක ස්ථාන කරා යෑමට සහ සිය වටිනා බඩු බාහිරාදිය ප්‍රමුඛ චංචල දේපළ ( රථ වාහන ආදිය ) බේරා ගැනීමට පැය කිහිපයකට පෙර සිට ක්‍රමානුකූලව කරන අනතුරු ඇඟවීමකට මහ විශාල වියදමක් යන්නේ ද නැති අතර, එවැනි ක්‍රමවේදයන් ද සංකීර්ණ බවින් තොරය....

මේ සිදුවූ විනාශයේ ගං වතුර නිසා අහිමිවූ ජීවිත සහ දේපළ වටිනාකමෙන් බාගයකටත් වඩා එසේ වීමට වග කිව යුත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අලස බව සහ අකාර්යක්ෂමතාවය නිසා බව ඔහුගේ මතය විය....

උදා: ඔහුට අනුව ග්ලෙන්කෝස් හි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යනවිට හංවැල්ල මධ්‍යස්ථානය අවට ඇති වැලිවිට, හංවැල්ල, කඩුවෙල, බෝමිරිය ආදී ප්‍රදේශද, නාගලගම් වීදිය මිනුම් කණුව අවට ඇති කොටිකාවත්ත, වැල්ලම්පිටිය, මුල්ලේරියාව, කැළණිය, දෙමටගොඩ, කොළොන්නාව, ආදී වූ සියළු ස්ථාන වලට ගං වතුර ගලන්නේ කොයි තරම් වේලාවකින්දැයි ප්‍රබල නිරවද්‍යතාවයකින් යුතුව පූර්ව දැනුම් දීමක් කළ හැක.....ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් මේ වනවිටත් ශ්‍රී ලංකාව සතුව ඇති බව ඔහු තහවුරු කළේය.....

යම් හෙයකින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ මාතෘ අමාත්‍යංශය වන වාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකරන අමාත්‍යංශය මැදිහත්ව ඒකාබද්ධව එම පියවර ගත්තා නම් මෙයට වඩා ජීවිත ප්‍රමාණයක්, සහ වටිනා දේපළ රැසක් ඉතිරීවීමට අවකාශ තිබුණු බව ඔහුගේ අදහසයි.....

තත්වය මෙසේ නම්, මේ ගැන බුකියේ ස්වේච්ඡා පිරිස් එක්ව මෙම ගං වතුර ආපදා තත්වය සහමුලින්ම අවසන් වූ පසුව විශේෂ ගවේෂණයක් කළ යුතුය....එයින් පසුව මෙම කරුණු සත්‍ය බවට ඔප්පු වුවහොත්, අදාළ අමාත්‍යංශයේ සහ දෙපාර්තමේන්තුවේ තනතුරු දරන දේශපාලකයන්ට සහ නිළධාරීන්ට, වගකීම පැහැර හැරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතුය.
(සයිබර වරිගෙ උණ්ඩියා/Facebook)

2 comments:

  1. වාරිමාර්ගේ කියන්නේ නඩත්තු දෙපාර්තුමෙන්තුවක්නේ, එයාලට තියෙන්නේ වැව් බැමි වලට පිඩලි අල්ලලද, ගේට්ටුවලට ඔයිල් දාලා තින්ත ගාලාද තියෙන්න කියලා බලන්නයි.

    ReplyDelete