Friday, May 27, 2016

සිරියාවේ රකා නගරය ISIS ත්‍රස්තයින්ගෙන් ගලවා ගැනීමේ මෙහෙයුම

ඇමරිකා එක්සත් ජනපද ආධාර ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) සටන්කාමීන්, "ඉස්ලාමීය රාජ්‍යය​" නමින් තමුන්ව හඳුන්වාගන්නා ISIS ත්‍රස්තවාදීන් ගේ "අගනුවර​" ලෙස සැළකෙන රකා (Raqqa) නගරය ආසන්න ප්‍රදේශවලට පහර දීම අරඹා ඇත​.

රකා නගරයට කිලෝමීටර 60 ක් පමණ වයඹ දෙසින් වන අයින් ඉසා නම් ප්‍රදේශයට SDF සංවිධානයේ හමුදා පහර දී ඇති අතර මේ වනවිට ගම්මාන ගණනාවකින් ISIS ත්‍රස්තයින් පළවා හැර ඇති බව වාර්තා වේ.
SDF භටයින් (Rodi Said/Reuters)

කෙසේ වෙතත් නුදුරු දිනයකදී රකා නගරය වෙත කෙළින්ම ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩ අඩු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

SDF සංවිධානය, ISIS ත්‍රස්තයින්ට මෙන්ම සිරියානු රජයට ද එරෙහි සංවිධාන සමූහයක එකතුවකි. එහි ප්‍රධානතම සාමාජිකයා වන්නේ කුර්දි ජාතිකයන් ගෙන් සැදුම් ලත් මහජන ආරක්ෂක ඒකක​ (People's Protection Units - YPG) සංවිධානය ය​.

මේ අවස්ථාව වනවිට ඔවුනගේ මූලික අරමුණ වන්නේ කෙළින්ම නගරයට පහරදීමට වඩා නගරයෙන් උතුරේ වන විශාල ප්‍රදේශය අල්ලාගැනීම බව SDF ප්‍රකාශකයකු වන තලාල් සිලෝ රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවසීය​.

SDF සංවිධානය විසින් එල්ල කරන මෙම ප්‍රහාරයන් ඇරඹෙන්නේ එක්සත් ජනපද ජෙනරල් ජෝසෆ් වොටෙල් සිරියාව වෙත කළ හදිසි සංචාරයෙන් දින කිහිපයකට පසු වීම විශේෂත්වයකි. මේ අතර ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සහ රුසියාව ද රකා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී.
මැයි 26 වනවිට සටන් පෙරමුණ​. සිතියමේ පහළින් රකා නගරයේ කොටසක් දිස් වේ.

රකා නගරය සිරියානු රාජ්‍ය විරෝධී සටන්කාමීන් අතට පත් වූයේ 2013 මාර්තුවේදීය​. 2014 අප්‍රේල් වනවිට එහි පාලනය තනිකරම ISIS සංවිධානය සතු වූ අතර ඔවුන් විසින් එය සිය අගනුවර ලෙස ප්‍රකාශයට පත් කෙරිණ​. ISIS සංවිධානය පවසන්නේ තමුන් පරමාදර්ශී ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කරන බවය​. නමුත් ඔවුනගේ ප්‍රතිවාදීන් පවසනුයේ සංවිධානය සිවිල් වැසියන් සුබසාධනය කෙරෙහි කිසිදු අවධානයක් නොදක්වන බවය​.

No comments:

Post a Comment