Wednesday, June 1, 2016

හිලරි ක්ලින්ටන් කැලිෆෝර්නියාවෙදී බර්නි සැන්ඩර්ස් පරදවන ලකුණු

ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම ඡන්ද දායකයින් පිරිසක් වසන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ නාමයෝජනා සටනේ මූලික ඡන්ද විමසීම ජූනි 7 වනදා පැවැත්වීමට නියමිත ය​.

කැලිෆෝර්නියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ හූවර් ආයතනය විසින් කළ සමීක්ෂණයකට අනුව මේ වනවිට එම ප්‍රාන්තය තුළ ඩිමොක්‍රටික් මූලික වටයේ ඡන්ද විමසීමට සම් බන් ධ වන්නන් අතර හිලරි ක්ලින්ටන් ගේ ජනප්‍රියත්වය බර්නි සැන්ඩර්ස්ගේ ජනප්‍රියත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් ඉහල අගයක පවතී.

සමීක්ෂණයට සහභාගී වූවන් සියයට 51 ක් ක්ලින්ටන් තෝරාගනිද්දී සැන්ඩර්ස්ට ඡන්දය දෙන බව  ප්‍රකාශ කර තිබුණේ සියයට 38 ක් පමණි.

කෙසේ වෙතත් වයස අවුරුදු 30 ට අඩු අය අතර මෙන්ම ස්වාධීන ඡන්ද දායකයන් අතරද ක්ලින්ටන්ට වඩා ඉතාමත් ඉදිරියෙන් සැන්ඩර්ස් සිටින බව මෙම සමීක්ෂණය විසින් පෙන්නුම් කරන ලදී. තරුණ ඡන්ද දායකයන් අතර සැන්ඩර්ස්, ක්ලින්ටන්ට වඩා සියයට 31 ක ජනප්‍රියත්වයක් වාර්තා කළේය​.

කෙසේ වෙතත් මේ වනවිට ඩිමොක්‍රටික් නාම යෝජනා සඳහා ක්ලින්ටන්ට අවශ්‍ය වන්නේ තවත් නියෝජිතයන් 73 ක් පමණි. විශේෂයෙන්ම පක්ෂයේ සුපිරි නියෝජිතයන් අති විශාල පිරිසක් ක්ලින්ටන්ට සහය පළ කර සිටීම මෙහිදී ඉතා වැදගත් සාධකයක් වී තිබේ. සාමාන්‍ය නියෝජිතයන් 4,051 දෙනකු තෝරාගැනීමට ප්‍රාන්‍ත මට්ටමෙන් මේ වනවිට පැවති මූලික ඡන්ද විමසීම්වලදී, ක්ලින්ටන් නියෝජිතයන් 1,769 දිනාගෙන සිටින අතර සැන්ඩර්ස් 1,499 දෙනකු දිනාගෙන සිටියි. නමුත් 'සුපිරි නියෝජිතයන්' (Super Delegates) 541 ක් ක්ලින්ටන්ට සහය පළ කරද්දී සැන්ඩර්ස් වෙත සහය දක්වන්නේ 43 දෙනකු පමණි.

කැලිෆෝර්නියාවේදී තෝරාගැනීමට නියමිත සමස්ථ නියෝජිත සංඛ්‍යාව 475 කි.

කැලිෆෝර්නියා සටන සැන්ඩර්ස්ගේ නාමයෝජනා සටනේ අවසන් කඩඉම වනු ඇති බව බොහෝ දෙනා විශ්වාසය පළ කරති.

No comments:

Post a Comment