Thursday, June 2, 2016

තෙල් මිල පහළ යාමත් සමඟම ගුවන් සමාගම්වල ලාභය ඉහළ යයි

මෙම වසර තුළදී ලෝකයේ ගුවන් ගමන් කර්මාන්තය විසින් ඩොලර් බිලියන 39.4 ක ලාභයක් උපයනු ඇති බව අන්තර්ජාතික ගුවන් ගමන් සංගමය (International Air Travel Association - IATA) පවසයි.

මෙය 2015 දී ඉපයූ ලාභයට වඩා සියයට 12 ක ඉහළ නැඟීමකි. පසුගිය වසරේදී එම කර්මාන්තය උපයා ගන්නා ලද ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 35.3 ක් විය​.

මෙම ලාභයෙන් අඩකටත් වඩා, එනම් ඩොලර් බිලියන 22.9 ක් ම උතුරු ඇමරිකානු සමාගම් විසින් උපයාගනු ඇතැයි අනුමාන කෙරේ. කෙසේ වෙතත් අප්‍රිකානු ගුවන් සමාගම් ඩොලර් මිලියන 500 ක පමණ පාඩුවක් ලබනු ඇතැයි IATAය අනුමාන කරයි.

මේ අතර ගුවන් මගීන් ගේ සංඛ්‍යාව වැඩිවීමේ යම් කිසි අඩුවක් පෙන්නුම් කරන බව ද IATA දත්ත මගින් පෙන්නුම් කෙරේ.
Pic: Magnus Bäck

2015 දී ගුවන් මගීන් සංඛ්‍යාව 7.4% කින් ඉහළ ගිය නමුත් මෙම වසර තුළ එහි ඉහළ යාම 6.2% ක් පමණක් වනු ඇතැයි ගණන් බලා ඇත​.

IATA අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක ටෝනි ටයිලර් සඳහන් කරන පරිදි තෙල් මිල පහළ යෑම ගුවන් සමාගම්වල ලාභය කෙරෙහි වැඩියෙන්ම බලපෑමක් කළ සාධකයක් වේ. එමෙන්ම මගී සංඛ්‍යාව​, හවුල් ව්‍යාපාර බිහිවීම සහ ගුවන් සේවාවලට අදාළ අවශේෂ සේවාවන් මගින් ඉපයෙන ලාභය ඉහළ යාමද ගුවන් සමාගම්වල ලාභය කෙරෙහි බලපා ඇත​.

අප්‍රිකාවේ ගුවන් සමාගම් ගිය වසරේ ඩොලර් මිලියන 700 ක පාඩුවක් වාර්තා කළ අතර මෙම වසරේදී එම පාඩුව ඩොලර් මිලියන 500 දක්වා අඩු වීමක් පෙන්නුම් කිරීම වැදගත් කරුණකි. අප්‍රිකානු සමාගම් පාඩු ලැබීමට හේතු කිහිපයක්ම බලපා ඇත​. දිගු ගුවන් ගමන් මාර්ග සඳහා අනෙක් සමාගම් සමග තරඟ කිරීමට සිදු වීම​, අප්‍රිකානු රටවල් අතර ගුවන් ගමන් වැඩි දියුණු වීම කෙරෙහි ඇති දේශපාලනමය බාධා, වියදම් වැඩි වීම සහ යටිතල පහසුකම්වල මඳකම මේ අතර ප්‍රධාන වේ.

No comments:

Post a Comment