Saturday, June 4, 2016

මොහොමඩ් අලී වීරයකු වන්නේ ඇයි?

ලෝකයේ විසූ අග්‍රගණ්‍යම හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයා ලෙස සැළකෙන මොහොමඩ් අලී මිය ගියේය​.

1942 ජනවාරි 17 වනදා ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිස්විල් නගරයේ උපන් මොහොමඩ් අලි උපතින් කැෂියස් ක්ලේ නම් විය​.

ඔහු නම වෙනස් කළේ පසු කළෙක ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසුවය​.

1960 දී රෝම ඔලිම්පික් උළෙලේදී ලයිට් හෙවිවේට් අංශයෙන් රන් පදක්කම දිනූ ඔහු 1964, 1974 සහ 1978 වසරවල ලෝක හෙවිවේට් ශූරයා බවට පත් විය​. 1974 දී එවකට ලෝක හෙවිවේට් ශූරයා වූ ජෝර්ජ් ෆෝර්මන්ට අභියෝග කළ අලී, එවකට සයරේ නමින් හැඳින්වුන වත්මන් කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අගනුවර වූ කින්ශාසා නගරයේදී පැවැති සුප්‍රසිද්ධ බොක්සිං තරඟයකදී ඔහු පරාජය කළේය​.

The Rumble in the Jungle නමින් හැඳින්වෙන මෙම තරඟය 20 වන සියවසේ අනර්ඝම ක්‍රීඩා තරඟය ලෙස ද සැළකේ. තරඟය නැරඹීමට රැස් වූ පිරිස 60,000 කි.

එම සම්පූර්ණ සටනේ වීඩියෝව පහත දැක්වේ.

මොහොමඩ් අලී අසහාය ක්‍රීඩකයකු වන්නේ ඔහු ලොව වටා සිටි සියලු අභියෝගකරුවන්ට 'නෙලාගෙන නෙලාගෙන' ගිය නිසා නොවේ. ඔහු තමා විශ්වාස කළ දෙය වෙනුවෙන් සටන් කළ බැවිනි.

සිය බොක්සිං ජීවිතයේ මුල් කාළයේ ආවේගශීලී පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ හෙතෙම පසු කළෙක​, විශේෂයෙන්ම ඉස්ලාම් දහම වැළඳගත් පසු, වෙනස් පුද්ගලයකු බවට පත් විය​. ඉස්ලාම් දහම විකුණා ත්‍රස්තවාදයෙහි නිරත වන්නන්ට ඔහුගේ දර්ශනය අභියෝගයක් වේ.

1967 දී වියට්නාම් යුද්ධයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ඔහු කියා සිටියේ සිය ආගමික දර්ශනය ඒ සඳහා ඔහුට ඉඩ නොදෙන බවයි.

"මගේ ආගමේ ප්‍රධාන ලෙසම භාවිතාවන සුබ පැතීම අස්සලාම් අලයික්කුම් යන්නයි. එහි තේරුම 'ඔබට සාමය උදා වේවා!' යන අදහසයි" යුද්ධයට විරුද්ධව සුප්‍රසිද්ධ දේශනයක් කරමින් ඔහු කියා සිටියේය​.

එක්සත් ජනපද රජය ඔහුට හමුදාවට බැඳීමට නියෝග කළ අතර එයට ඔහු එරෙහි වූ විට බොක්සිං ක්‍රීඩාව ද තහනම් කර ඔහු සිර කරන ලදී. එම තීරණයට එරෙහිව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඔහු එහිදී රජයට එරෙහිව නඩු කියා ජය ගත්තේය​.

පාකින්සන් රෝගයෙන් දිගු කළක් පෙළෙමින් සිටි අලී 1996 ඔලිම්පික් ගිනි සිලුව දල්වන අවස්ථාව අතිශය සංවේදී දසුනක් වූ බව එය හැබැහින් හෝ රූපවාහිනී තිරය ඔස්සේ සජීවීව නැරඹූවෝ පිළිගනිති.

No comments:

Post a Comment