Friday, June 3, 2016

ඇමරිකානු සහ රුසියානු ගුවන් හමුදා සිරියාවේ රකා (Raqqa) දෙසට පහර දෙති

ඇමරිකා එක්සත් ජනපද සහ රුසියානු ගුවන් හමුදා සිරියාවේ රකා (Raqqa) නගරය ආශ්‍රිතව "ඉස්ලාමීය රාජ්‍යය​" හෙවත් ISIS සංවිධානයේ සටන්කාමීන්ට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.

ඇමරිකානු ගුවන් ප්‍රහාර රකා නගරයට උතුරින් පිහිටි අයින් ඉසා ප්‍රදේශය වෙත එල්ල වෙමින් පවතී. අයින් ඉසා ප්‍රදේශයේ මේ වන විට ISIS සංවිධානය සහ සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) සංවිධානය අතර දරුණු ගැටුම් පවතී.

අයින් ඉසා ප්‍රදේශය අහිමි වීමෙන් රකා ප්‍රාන්තයේ සටන්කාමීන්ට තුර්කිය දෙසට ඇති අවසන් මාර්ගය අහිමි වනු ඇත​.

මේ අතර රුසියානු ගුවන් හමුදාව රකා ප්‍රාන්තයේ නිරිත දිග දෙස​, විශේෂයෙන්ම සලාමියා - රකා මාර්ගය අසළ සටන්කාමීන් රැඳී සිටින ස්ථාන දෙසට ප්‍රහාර එල්ල කරයි.  පැල්මයිරා නගරය අල්ලාගත් පසු සිරියානු හමුදා රකා දෙසට කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් පවතී.

මේ අතර ඉරාකයේ ද ප්‍රදේශ කිහිපයක සටන්කාමීනට එරෙහි සටන් ක්‍රියාත්මක වේ. ඉරාක හමුදා දින කිහිපයක් තිස්සේ ෆලූජා නගරය වෙත ගමන් කළද​, දැඩි සතුරු ප්‍රහාර හමුවේ ඊයේ දිනයේදී ඔවුනගේ ඉදිරි ගමන නැවතිණ​. මේ අතර උතුරු ඉරාකයේ මෝසුල් නගර ආශ්‍රිත ප්‍රදේශවලට ද ඉරාක් කුර්දි 'පැශ්මර්ගා' බල ඇණිවල ප්‍රහාර එල්ල වෙමින් පවතී.

තවද​, ලිබියාවේ සටන්කාමීන් සතුව පවතින සිර්ටේ නගරය අසළ විදුලි බලාගාරයක බලය අතට ගැනීමට ලිබියානු රජයේ හමුදා පසුගිය දිනෙක සමත් වූහ​. සිර්ටේ නගරය හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ උපන් බිම වන අතර එහි ඇති වරාය සහ ගුවන් තොටුපල හරහා යුරෝපය දෙසට පහර දීමට ත්‍රස්තයින් කටයුතු කරනු ඇතැයි බියක් පවතී.

මේ අතර ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ බව කියන සටන්කාමීන් තිදෙනකු ජර්මනියේ ඩසල්ඩෝර්ෆ් නගරයේදී පසුගියදා පොලිස් අත් අඩංගුවට පත් වූහ​.

No comments:

Post a Comment