Monday, July 25, 2016

පළමු ලෝක යුද්ධය​: ඉතාලි, ග්‍රීක සහ මැද පෙරදිග පෙරමුණු - 1917

1917 දී බටහිර පෙරමුණ තුළ තත්ත්වය තවමත් එක් පාර්ශවයකට හෝ වාසිදායක නොවූ අතර නැගෙනහිර පෙරමුණ මධ්‍ය බලවතුන් ගේ ජයග්‍රහණයෙන් කෙළවර විය​. මේ අතර අවශේෂ පෙරමුණුවල ද වැදගත් වෙනස්කම් කිහිපයක් සිදු විය​.

ඉතාලි පෙරමුණ​

1917 පළමු මාස අට තුළදී පිරිස් බලය​, වෙඩි බෙහෙත්, කාලතුවක්කු ආදියෙහි ඌණතා තිබියදී වුවද යළිත් දෙවතාවක් ම ඉසොන්සෝව තරණය කිරීමට ඉතාලි හමුදා උත්සාහ කළහ​. ජෙනරාල් ලුයීගි කාර්ඩෝනා යටතේ එල්ල වූ මෙම ප්‍රහාරයන් ද අසාර්ථක වූයේය​.

ඔක්තෝබර් මාසයේදී දැවැන්ත ජර්මන් - ඔස්ට්‍රා හන්ගේරියානු ප්‍රහාරයකට ඉතාලිය ඉලක්ක වූයේය. මෙය කැපොරෙට්ටෝ සංග්‍රාමය (Battle of Caporetto) යනුවෙන් හැඳින්වෙන නොවැම්බර් මස අවසාන කාළය තෙක් ඇදුණ දැවැන්ත සංග්‍රාමයක ඇරඹුම විය​. මධ්‍ය බලවතුන් ඉසොන්සෝ නදියේ ඉහළ ප්‍රදේශයකින් එය තරණය කර ඉතාලිය තුළට කඩා වැදුණේ එරට හමුදා විදුලි වේගයෙන් පලවා හරිමිනි. ඉතාලි හමුදාවල පසුබෑම කෙළවර වූයේ පයේව් නදියෙනි.
Battle of Caporetto (Map: https://nowxhere.wordpress.com/) 

මෙම දැවැන්ත ප්‍රහාරයට මුහුණ දීමට ඉතාලි හමුදා සතුව ප්‍රමාණවත් අමතර බල ඇණි නොවීය​. සටනින් මියගිය සහ තුවාල ලද ඉතාලි හමුදා භට පිරිස පිළිවෙලින් 10,000 ක් සහ 30,000 ක් පමණ වූ බව සැලකේ. මේ අතර 250,000 කට වැඩි පිරිසක් සිරකරුවන් ලෙස අල්ලාගන්නා ලද අතර 300,000 ක් පමණ පිරිසක් හමුදාව අතහැර පළා ගියහ​. ඉතාලි හමුදාවල චිත්ත ධෛර්යය ශුන්‍යයටම බැස්සේය​.

ජෙනරල් කෝර්ඩෝනා වෙනුවට ආර්මන්ඩෝ ඩයස් අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී. මේ අතර ඉතාලිය කඩා වැටේය යන බියෙන් ඉංග්‍රීසි සහ ප්‍රංශ හමුදා පයේව් නදී පෙදෙස වෙත එවන ලද්දේය​. ඔස්ට්‍රියානු සහ ජර්මන් හමුදා තාවකාලිකව සිය ඉදිරි ගමන නවතා දැමූහ​.

ග්‍රීසිය යුද්ධාවතීර්ණ වීම​

1917 මුලදී මිත්‍ර හමුදා මැසඩෝනියාවේ මොන්ස්ටාර්, ප්‍රෙස්බා විල සහ වාර්ඩා නදිය ආශ්‍රිතව ප්‍රතිඵල රහිත සටන් කිහිපයක යෙදුණහ​. ග්‍රීක රජු වූ පළමු කොන්ස්ටයින් ගේ ජර්මන් හිතවාදී ප්‍රතිපත්ති හේතුවෙන් බෝල්කන් ප්‍රදේශවලට විශාල හමුදා යැවීමට නොහැකි වීමෙන් තමන්ට එම ප්‍රදේශයේ වැදගත් ජයග්‍රහණයක් ලැබිය නොහැකි බවට මින් පසු ඔවුන් මැසිවිලි නගන්නට විය​. මේ අනුව මිත්‍ර රටවල්වල මීළඟ පියවර වූයේ ග්‍රීක රජු බලයෙන් නෙරපා හැරීමයි.

ජූනි මාසයේදී මිත්‍ර හමුදා ග්‍රීසිය වෙත යවන ලද අතර එම මස 12 වනදා රජු සිහසුන අත හැරියේය​. රජුගේ පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් රජ බවට පත් විය​. ඔහුගේ අගමැතිවරයා ලෙස පත්කරන ලද්දේ සැලෝනිකාවේ තාවකාලික ආණ් ඩුවක් පවත්වාගෙන ගිය එලෙයුතේරියස් වෙනිසෙලොස් ය​. සිය අතිජාත මිත්‍රයා අගමැති පුටුවේ ඉන්ඳවූ පසු ග්‍රීසිය පිළිබඳ මිත්‍ර රටවලට කිසිදු සැකයක් නොවීය​. ජූනි 27 වනදා ග්‍රීසිය මධ්‍ය බලවතුන් සිව් දෙනාටම එරෙහිව යුධ ප්‍රකාශ කළේය​.

මැද පෙරදිග සටන්

1917 මාර්තු සහ අප්‍රේල් මාසවල ගාසා නගරය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයන් කළ අසාර්ථක උත්සාහයන් දෙකකට පසු ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය හමුදා සඳහා නව අණදෙන නිලධාරියකු පත්කර එවන ලදී. ඒ පසු කළෙක ෆීල්ඩ් මාර්ෂල් ධූරයට ද පත් එඩ්මන්ඩ් ඇලන්බි ය​.
Allenby

මේ අතර තුර්කියට එරෙහිව දියත් වූ අරාබි කැරැල්ල ද උත්සන්න වෙමින් පැවතිණ​. මෙම කැරැල්ලට සහය වීම පිණිස බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු වූ තෝමස් එඩ්වර්ඩ් ලෝරන්ස් යවන ලදී. "අරාබියේ ලෝරන්ස්" නමින් ප්‍රකට වූ හෙතෙම එම කැරැල්ලට අව්‍යාජවම ආධාර කල බව සඳහන් වේ. ඔහුගේ අරමුණ වූයේ අරාබි ජාතිකයන් නිදහස් වනු දැකීමය​.
Lawrence of Arabia

තුර්කීන්ගේ දුම්රිය මාර්ග පුපුරවා හරිමින් අරාබි කැරලිකරුවෝ ඔවුනට හිසරදයක් බවට පත් වූහ​. 1917 ජූලි මාසයේදී ගරිල්ලා සටන්වලින් බැහැරවූ ඔව්හු ඇකබා නගරයට පහර දී අල්ලාගත්තෝය​.

1917 ඔක්තෝබර් 31 වනදා ඇලන්බිගේ හමුදා බියර්ශීබා (Beersheba) අල්ලාගත් අතර ගාසා නුවරින් පසු බැසීම හැර අන් විකල්පයක් තුර්කීන්ට නොවීය​. මෙම පසු බැසීම බලාපොරොත්තු වූවාට වඩා දරුණු විය​. දෙසැම්බර් 8 වනදා ඇලන්බිගේ සේනාංක යෙරුසලමට ඇතුලු වූහ​.
The Third Battle of Gaza (www.mapillustrations.com.au)

මේ අතර මෙසපොතේමියාවේදී ද බ්‍රිතාන්‍ය හමුදා ජයග්‍රහණ වාර්තා කළහ​. 1917 මාර්තු 11 වනදා බැග්ඩෑඩය අල්ලාගන්නා ලදී. සැප්තැම් බරය වනවිට බ්‍රිතාන්‍ය හමුදා රමාදි වෙත පැමිණීමට සමත් වූහ​.

මේ අනුව ප්‍රධාන සටන් පෙරමුණුවලදී මධ්‍ය බලවතුන් වැඩි වාසි සලසා ගනිද්දී ග්‍රීසිය සහ මැදපෙරදිග කලාපයේදී මිත්‍ර හමුදා යම් ප්‍රබල ස්ථානයකට එනු දකින්නට ලැබුණි. මෙය තුර්කියට ඍජු තර්ජනයක් විය​.

4 comments:

  1. ඒ විදියට මැදපෙරදිගට ආපු බ්‍රිතාන්‍ය හමුදා දෙවැනි ලෝක යුද්ධය නිමා වෙනතුරුත් මැදපෙරදිග රජ කෙරුවා නේද?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙත්.
      ඉරාකයේ 1958 වෙනකල් උන්නා. ජෝර්දානයේ. පර්සියානු බොක්ක ආශ්‍රිතව ඊටත් වඩා කල්

      Delete
    2. බ්‍රිතාන්‍යකාරයෝ තමන් යටතේ තිබ්බ ආසියාවේ (ඔය අපේ කලාපයේ වගේ) යටත් විජිත බොහොමයකට නිදහස දුන්නානේ දෙවැනි ලෝක යුද්ධය නිමා වෙලා වසර කිහිපයක් ඇතුලට.ඒත් ඔය අප්‍රිකාවේ,මැදපෙරදිග යටත් විජිත සැහෙනකාලයක් තමන් යටතේ තියාගත්තේ මොකද නිදහස නොදී.කලු රත්තරන් කියලා කියපු "තෙල්"නිසාමද ?නැතිනම් තවත් හේතු තියෙනවාද ?

      දැන් ඉතින් මෙව්වා උඹේන් අහනවා මිසක් ස්කෝලේ ඉතිහාස ටීචර්ගෙන් අහන්න කියලයෑ...:)

      Delete
    3. ආසියාවෙත් ඔක්කොම එක පාර අතෑරියේ නෑ. ඉන්දියාව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ කීපයක් විතරයි. ඉන්දියාව අල්ලගෙන ඉන්න බැරි බව තේරුණ නිසා. යටත් විජිත ප්‍රතිපත්ති කාලෙන් කාලෙට වගේම රටින් රටටත් වෙනස් වුනා.

      Delete