Sunday, July 17, 2016

ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර - සම්පූර්ණ ලැයිස්තුව (2012 සිට​)

පසුගිය වසර කිහිපය තුළ ප්‍රංශය ත්‍රස්ත ප්‍රහාර ගණනාවකට ඉලක්ක වූයේය​. 2012 සිට එල්ලවූ එවන් ත්‍රස්ත ප්‍රහාර ලැයිස්තුවක් පහත දැක්වේ.
Pic: AFP

මෙම ලැයිස්තුව පිරික්සීමේදී නීස් නගරයේ එල්ල වූ ආකාරයට වාහන යොදාගෙන කරන ලද එතරම් ප්‍රකට නොවූ ප්‍රහාර කිහිපයක් ම දැකිය හැක​. වාහන යොදාගනිමින් "මිථ්‍යා දෘෂ්ටිකයන්" යටකර දමන ලෙස ISIS ත්‍රස්ත සංවිධානය මුල් වරට උපදෙස් දුන්නේ 2014 දී බැව් මෙහිදී මතක තබාගත යුතු කරුණකි. මෙම උපක්‍රමය සංවිධානය විසින් නිර්මාණය කළ එකක් නොවේ. මින් පෙර ඊශ්‍රායලයේදී එවන් ප්‍රහාර සිදුවී ඇත​.

01. 2012 මාර්තු 11-22: ටූලූස් සහ මොන්තෝබන් වෙඩි තැබීම්

ඇල්ජීරියානු සම්භවයකින් යුත් 23 හැවිරිදි මොහොමඩ් මෙරාහ් විසින් කරන ලද වෙඩි තැබීම්වලින් පැරෂුට් භටයින් තිදෙනකු, රැබයිවරයකු සහ පාසල් ළමුන් තිදෙනකු මියගොස් තවත් කිහිප දෙනක් තුවාල ලැබීය​. මෙරාහ් අල්ලාගැනීමට ප්‍රංශ ඉතිහාසයේ විශාලතම මෙහෙයුමක් දියත් වූ අතර ඔහු කොටු වූ පසු පැය තිහක් තිස්සේ පොලිසියට යටත් නොවී සිටියේය​. අවසානයේ පොලිසිය දෙසට වෙඩි තබමින් සිය සැඟවුම් ස්ථානයෙන් පිටතට කඩා පැන්න ඔහු ස්නයිපර් වෙඩි පහරකින් මරු දැක්කේය​.

02. 2013 මැයි 23: ලා ඩිෆෙන්ස් ප්‍රහාරය​

පැරිසියේ ලා ඩිෆෙන්ස් ප්‍රදේශයේදී කිසියම් අයකු විසින් ප්‍රංශ සෙබලකුට පිටිපසින් පැමිණ පිහියෙන් ඇන තුවාල සිදු කරන ලදී. මයි 29 වනදා මෙම සිද්ධිය සම් බන් ධයෙන් ඇලෙක්සාන්ද්‍ර දවුසි (Alexandre Dhaussy) නම් 22 හැවිරිදි අයකු අත අඩංගුවට ගැණින​. ඔහු උන්මාද තත්ත්වයෙන් පෙළෙන්නකු බව පසුව සොයාගන්නා ලදී.

03. 2014 දෙසැම්බර් 20: ටුවර්ස් පොලිස් පිහි ප්‍රහාරය​

ටුවර්ස් හි පොලිස් ස්ථානයකට කඩා වැදුණ 20 හැවිරිදි බර්ට්‍රන්ඩ් සොහබොනායෝ (Bertrand Nzohabonayo) නම් තරුණයා "අල්ලාහු අක්බර්" යනුවෙන් හඬ දෙමින් පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල කළේය​. ඔහු වෙඩි තබා මරා දමන ලදී.

04. 2014 දෙසැම්බර් 21: ඩියොන් (Dijon) ප්‍රහාරය​

මෑතකදී ප්‍රංශයේ සිදු වූ පළමු මෝටර් රථ ප්‍රහාරය මෙයයි. ඩියොන් නගරයේදී පදිකයින් 13 දෙනකුට තුවාල සිදු කරමින් 40 හැවිරිදි අයකු මෝටර් රථය පැදවීය​. එහිදී ඔහු "අල්ලාහු අක්බර්" ලෙස මොර ගෑ බව සඳහන් විය​. පසුව අනාවරණය වූ පරිදි ඔහු දැඩි මානසික රෝගියකු වූ අතර දින කිහිපයකට පෙර ඉස්ලාම් දහම වැළඳගෙන තිබුණි. එවකට ප්‍රංශ බලධාරීන් කියා සිටියේ මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවත් මානසික ව්‍යාධිය හේතුවෙන් කරන ලද්දක් බවත් ය​.

05. 2014 දෙසැම්බර් 22: නැන්ටෙස් ප්‍රහාරය​

ප්‍රංශයේ බටහිර දිග නැන්ටෙස් නගරයේ නත්තල් වෙළෙඳපොළක් වෙත සිය වාහනය පැදවූවෙක් මහමග සිටි දස දෙනකුට පමණ තුවාල සිදු කර තමාටද පිහියකින් ඇන සිය දිවි නසාගැනීමට තැත් කළේය​. ඔහුද "අල්ලාහු අක්බර්" යයි හඬ ගෑ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියා සිටියහ​.

06. 2015 ජනවාරි 7-9: චාර්ලි එබ්දෝ (Charlie Hebdo) ඇතුලු ප්‍රහාර​

යේමනයේ අල් කයිඩා සංවිධානයට සම්බන්ධ සයිද් සහ ෂෙරිෆ් කෞඅචී (Saïd and Chérif Kouachi) නම් සහෝදරයින් දෙදෙනකු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි චාලි එබ්දෝ නම් සඟරාවේ කාර්යාලයට කඩා වැදී කර්තෘ මණ්ඩලයේ අට දෙනකු, පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ තවත් දෙදෙනකු ඝාතනය කළ හ​. ඉන් පසු දින මොන්ට්රූග් හිදී 27 හැවිරිදි පොලිස් නිලධාරිණියක ඝාතනය කෙරිණ​. එම ප්‍රහාරයට අමෙදි කෞලිබාලි (Amedy Coulibaly) නම් පුරුෂයකු සහ  ඔහුගේ බිරිඳ වූ හයාට් බෞමදීන් (Hayat Boumeddine) නම් කාන්තාවක සම් බන් ධ වූ බව සඳහන් ය​.

ජනවාරි 9 වනදා චාලි එබ්දෝ ප්‍රහාරකයින් දෙදෙනා කොටු කරගෙන මරා දමන ලදී. එදිනම යුදෙව් කොෂර් අවන්හලකට කඩා වැදුණ කෞලිබාලි එහි වූ පිරිසක් ප්‍රාණ ඇපයට ගත්තේය​. එහිදී කෞලිබාලි මරා දමන ලද අතර ඔහු විසින් ප්‍රාණ ඇපකරුවන් සිව් දෙනකු ඝාතනය කෙරිණ​.

ඔහුගේ බිරිඳ බෞමදීන් ආගිය අතක් නැත​.

07. 2015 පෙබරවාරි 03: නීස් යුදෙව් මධ්‍යස්ථාන ප්‍රහාරය​

නිස් නගරයේ යුදෙව් මධ්‍යස්ථානයක ආරක්ෂාවට යොදවා සිටි සෙබලු තිදෙනකු 30 හැවිරිදි මූසා කෞලිබාලි නමැත්තා විසින් කරන ලද පිහි ප්‍රහාරයකින් සුලු තුවාල ලද හ​.

08. 2015 අප්‍රේල් 19: අසාර්ථක වූ ක්‍රිස්තියානි පල්ලි ප්‍රහාරය​

පැරිසියට එපිටින් ස්ථානයකදී කාර් රථයක් පැහැරගත් 24 හැවිරිදි ඇල්ජීරියානු පරිඝනක තාක්ෂණ සිසුවකු අතින් එහි උන් කාන්තාවක ඝාතනය විය​. එම සිසුවා වැරදීමකින් සිය පාදයටද වෙඩි තබාගත් අතර ඔහුව පසුව අල්ලාගන්නා ලදී. ඉන්පසු හෙළි වූයේ ඔහු සිරියාවේ යම් ත්‍රස්ත කණ්ඩායමක් හා සම්බන්ධකම් ඇති බවත් ක්‍රිස්තියානි පල්ලි දෙකකට පහරදීමට සැලසුම් කරමින් සිටි බවත් ය​.

09. 2015 ජූනි 26: ග්‍රෙනෝබ්ල් (Grenoble) ප්‍රහාරය​

ප්‍රංශයේ ගිණිකොණදිග ග්‍රෙනෝබ්ල් නගරය අසළ ඇමරිකානු සමාගමකට අයත් කර්මාන්තශාලාවක් තුළට සිය වාහනය පැදවීමට 35 හැවිරිදි රියැදුරකු වූ යසින් සාලි (Yassin Sahli) උත්සාහ කළේය​. පසුව ඔහුගේ අධීක්ෂකවරයාගේ හිස සුන් මලකඳ සොයාගන්නා ලදී. එහි අරාබි බසින් ජිහාඩි සටන්පාඨ ලියා තිබුණි. සාලි පසුව සිරභාරයේ සිටියදී සිය දිවි නසාගත්තේය​.

10. 2015 අගෝස්තු 21: තැලිස් දුම්රිය ප්‍රහාරය​

පැරිසිය වෙත පැමිණෙමින් සිටි දුම්රියක සිදු වීමට ගිය මහා ඛේදවාචකයක් මගීන් විසින් වළක්වාගන්නා ලදී. මගීන්ට වෙඩි තැබීමට ගිය 25 හැවිරිදි මොරොක්කෝ ජාතිකයකු වූ අයුබ් කසානි ඇමරිකානු සහ ප්‍රංශ මගීන් කිහිප දෙනකු විසින් වළක්වන ලදී. සිද්ධියෙන් සිව් දෙනෙක් තුවාල ලද හ​.

11. 2014 නොවැම්බර් 13-14: පැරිස් ප්‍රහාරය​

ප්‍රංශ ඉතිහාසයේ දරුණුතම ප්‍රහාරය මෙයයි. ISIS ත්‍රස්තයෝ මෙහි වගකීම භාරගත් හ​. රොක් සංගීත ප්‍රසංගයකට කඩා වැදී කළ වෙඩි තැබීමෙන් විශාල පිරිසක් මිය ගිය අතර තවත් පිරිසක් පැරිසියේ අවන්හල් කිහිපයකට කළ ප්‍රහාරවලින් මිය ගියහ​. මේ අතර ප්‍රංශ​-ජර්මන් පාපන්දු තරඟයක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩාංගනයට එපිටින් සිටි ත්‍රස්තයෝ තිදෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කළ හ​. මෙම ප්‍රහාර සමූහයෙන් 130 ක් මරු දුටහ​.

12. 2016 ජනවාරි 01: වැලෙන්ස් මුස්ලිම් පල්ලිය අසළ ප්‍රහාරය​

මෙය මෑත ප්‍රංශ ඉතිහාසයේ තුන්වන වාහනවලින් යට කිරීමේ ප්‍රහාරයයි. වැලෙන්ස් නුවර මුස්ලිම් පල්ලියක් ආරක්ෂාවට යොදවා සිටි සෙබලුන් පිරිසක් වෙත 29 වියැති ටියුනීසියානු සම් භවයකින් යුත් ප්‍රංශ ජාතිකයෙක් සිය වාහනය පැදවීය​. එක සෙබලෙක් සහ 72 හැවිරිදි අයෙක් තුවාල ලද හ​.

13. 2016 ජනවාරි 07: පැරිස් පොලිස් ස්ථාන ප්‍රහාරය​

ධජයක් ගෙන මස් කපන පිහියක් අතින් ගත් තැනැත්තෙක් පැරිසියේ පොලිස් ස්ථානයකට කඩා වැදුණි. ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලදී.

14. 2016 ජූනි 13: මැග්නන්විල් ප්‍රහාරය​

පැරිසියට එපිටින් මැග් නන්විල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුගේ නිවසට පිහියකින් සන්නද්ධව කඩා වැදුණ 25 හැවිරිදි ලරෝසි අබල්ලා නම් මොරොක්කෝ සම් භවයකින් යුතු ප්‍රංශ ජාතිකයකු එම නිලධාරියා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කළේ ය​. ඔවුනගේ තුන් හැවිරිදි දරුවා නිරුපද්‍රිතව සිටියදී පසුව සොයාගන්නා ලදී. අබල්ලා එම නිවසේ සිටම සිටම ISIS සංවිධානයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කරමින් සජීවීව වීඩියෝවක් නිකුත් කළේය​. පසුව කමාන්ඩෝ භටයින් විසින් ඔහු මරා දමන ලදී.

15. 2016 ජූලි 14: නීස් නගරයේ බැස්ටීල් දින ප්‍රහාරය​

ප්‍රංශ ජාතික දිනය සමරමින් සිටි පිරිසක් වෙත ටොන් 19 ක ට්‍රක් රථයක් පැදවූ 31 හැවිරිදි ටියුනීසියානු සම්භවයක් ඇති ප්‍රංශ ජාතිකයකු 80 දෙනකුට වැඩි පිරිසක් යට කර මරා දැම්මේය​. තවත් 20 දෙනකුට අධික පිරිසක් බරපතල තත්ත්වයේ පසු වෙති.

2 comments: