Thursday, September 1, 2016

දෝෂාභියෝගයෙන් පරාජය වූ බ්‍රසීල ජනපති ඩිල්මා රූසෙෆ් බලයෙන් ඉවතට​

බ්‍රසීල ජනාධිපතිනී ඩිල්මා රූසෙෆ් බලයෙන් පහ කිරීම සඳහා ඉදිරිපත් වූ දෝශාභියෝග යෝජනාව ඊයේ දිනයේදී එරට ව්‍යවස්ථාදායකයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාව විසින් සම්මත කෙරිණ​. මේ අනුව රූසෙෆ් බලයෙන් පහ කෙරුණ අතර වැඩ බලන ජනාධිපති මයිකල් ටෙමර් ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත විය​.

අයවැය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන ආකාරයෙන් සාවද්‍ය තොරතුරු ඇතුලත් කිරීම, 2014 මැතිවරණ ව්‍යාපාරයේ අක්‍රමිකතා,  සහ පෙට්‍රොබ්‍රාස් සමාගමේ අක්‍රමිකතාවලට අනුබල දීම ඇයට එරෙහිව එල්ල වූ චෝදනා විය​. මේ අතර බ්‍රසීලයේ වර්තමාන ආර්ථික අවපාතයට ද රූසෙෆ් වගකිව යුතු බව ඇගේ විරුද්ධවාදීහු ප්‍රකාශ කරති.

මෙම චෝදනා යටතේ එරට ව්‍යවස්ථාදායකය විසින් රූසෙෆ් ජනාධිපති ධූරයෙන් තාවකාලිකව ඉවත් කළේ ය​. ඒ පසුගිය මැයි මාසයේදී ය​. වැඩබලන ජනාධිපති ලෙස උප ජනාධිපති ටෙමර් පත් වූයේ ඒ අනුවය​.

අඟහරුවාදා දිනයේ පැය 13 ක් මුලුල්ලේ පැවති විවාදයකදී සෙනට් සභාවේ සාමාජිකයන් 81 න් 60 දෙනෙකු පමණ රූසෙෆ්ට එරෙහිව ඡන්දය දෙන බව ප්‍රකාශ කලෙන් බදාදා දින පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය පිළිබඳ සැකයක් නොවීය​. සෙනෙට් සභිකයන් 61 දෙනෙකු ඇය ඉවත් කිරීමට ඡන්දය භාවිතා කරද්දී ඇගේ සහයට සිටියේ සභිකයන් 20 ක් පමණි.

රූසෙෆ් බලයෙන් පහ කරනු ලැබීම ඇය සහ ඇගේ ආධාරකරුවන් විසින් හඳුන්වා දෙන ලද්දේ ඉහළ පැලැන්තියේ කිහිප දෙනෙකු විසින් දියත් කෙරුණ කුමන්ත්‍රණයක් ලෙසිනි. මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය ප්‍රමුඛ සභාගයක ප්‍රධානියා ලෙස රූසෙෆ් කටයුතු කළ අතර ඇගේ ඉවත්වීමත් සමඟ වසර 13 ක කම්කරු පක්ෂ පාලනය ද බිඳ වැටිණ​.

මධ්‍ය දක්ෂිනාංශික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපරයට නායකත්වය දෙන ටෙමර් රූසෙෆ්ගේ ධූර කාළයේ ඉතිරි කොටස බ්‍රසීලය පාලනය කරනු ඇත​. රූසෙෆ්ගේ ධූර කාළය නිමවීමට නියමිතව තිබුණේ 2018 දී ය​.
ටෙමර්

රූසෙෆ් යටතේ වූ පාලක සභාගයේ ප්‍රමුඛම සාමාජිකයකු වූ ටෙමර් 2014 මැතිවරණයේදී ඇගේ උප ජනාධිපති අපේක්ෂක සගයා විය​. නමුත් මෙම වසර මුලදී ඔහුගේ පක්ෂය සභාගයෙන් ඉවත් වීම රූසෙෆ්ගේ වැටීම වේගවත් කළේය​.

ටෙමර් විසින් පිහිටවන ලද තාවකාලික ආණ් ඩුවේ ප්‍රබල සාමාජිකයන් කිහිප දෙනෙකුටම එරෙහිව දූෂණ චෝදනා එල්ල වූ අතර ඇමතිවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස්වූහ​. ටෙමර්ට ද දූෂණ චෝදනා එල්ලවන අතර ඔහු ජනතාව අතර ජනප්‍රිය චරිතයක් ද නොවේ.

මේ අතර රූසෙෆ්ගේ ප්‍රබලම ආධාරකරුවකු මෙන්ම ඇගේ දේශපාලන මාර්ගෝපදේශකයා මෙන් සිටි හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට ද දූෂණ චෝදනා එල්ල වී ඇත​.

මේ අතර 68 හැවිරිදි රූසෙෆ්ගේ ප්‍රජා අයිතිය අට වසරකට අහෝසි කිරීම පිළිබඳ වෙනමම විවාදයක් සෙනට් සභාව විසින් නුදුරේදීම පැවැත්වීමට නියමිත ය​.

No comments:

Post a Comment