Saturday, September 3, 2016

දකුණු කොරියාවේ මීළඟ ජනාධිපති බැන් කි මූන් ද​?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කි-මූන් සිය උපන් බිම වන දකුණු කොරියාවේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ ඉඩක් ඇති බව කටකතා පැතිරුණේ මීට මාස කිහිපයකට පෙර ය​.

ඒ බැන් කි-මූන් සිය උපන් රට වෙත කරන ලද සංචාරයක් අතරතුර ය​.

ඔහුගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවක තමා සිය ධූර කාළය නිමා වූ පසු "කොරියානුවකු ලෙස​" සිය මව් බිමට යළි පැමිණෙන බව ප්‍රකාශ කළේ එම කටකතා සනාථ කිරීමෙන් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකී සිටිමිනි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් පදවිය භාරගත් පසු දකුණු කොරියානු දේශපාලනය කෙරෙහි නිල වශයෙන් එතරම් අවධානයක් යොමු නොකළ ද බැන් කි-මූන් වරෙක කරන ලද එක් ප්‍රකාශයක් ඔහුගේ අනාගත සැලසුම් පිළිබඳ සලකුණක් බව ඇතැමුන් විසින් සලකනු ලැබේ. "රටෙහි ඒකාග්‍රතාව වෙනුවෙන් සියල්ල කැප කළ හැකි අයකු මෙම අවස්ථාවේදී කරලියට පැමිණිය යුතු ය​" යනුවෙන් ඔහු මාස කිහිපයකට පෙර කියා සිටියේය​.

දකුණු කොරියාවේ පවත්වන ලද මත විමසුම් කිහිපයකදීම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙතැයි සැක කෙරෙන අන් සියල්ලන් අභිබවා ඉදිරියෙන්ම සිටීමට බැන් කි-මූන් සමත්වී සිටියි.

මෑත වසරවල දකුණු කොරියාවේ දේශපාලන ක්ෂේත්‍රය​ විවිධ හැලහැප්පීම්වලට භාජනය වී ඇති හෙයින් සියලු කොටස් ඒකාබද්ධ කරගත හැකි අපේක්ෂකයකු පිළිබඳ අදහසක් කලක පටන් මතු වෙමින් පවතී. මෙම තත්ත්වය මෙම වසරේ අප්‍රේල්වලදී පැවති මහ මැතිවරණයෙන් පසු තවත් තීව්‍ර විය​. මෙම මැතිවරණයේදී ආසන 300 කින් යුතු පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් ලබාගැනීමට කිසිදු පක්ෂයකට නොහැකි විය​. ජනාධිපතිනී පාර්ක් ගෙයුන්ග්-හී නායකත්වය දෙන සේනූරි පක්ෂය (Saenuri Party) ආසන 122 ක් දිනා ගනිද්දී කොරියාවේ මින්ජූ පක්ෂය (Minjoo Party of Korea) ආසන 123 ක් දිනා ගත්තේ බොහෝ විචාරකයන් මවිත කරවමිනි. මේ අතර ආසන 38 ක් දිනාගත් ජනතා පක්ෂය පාර්ලිමේන්තුවේ තීරක බලය තමන් සතු කරගත්තේ ය​.

1970 සිට වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ බැන් කි-මූන් 2004 සිට 2006 දක්වා දකුණු කොරියාවේ විදේශ ඇමතිවරයා ද විය​. ඔහු එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම් ධූරයේ වැඩ භාර ගත්තේ 2007 ජනවාරි 1 වනදා ය​. ඔහුගේ අනුප්‍රාප්තිකයා 2017 ජනවාරි 1 වනදා වැඩ භාරගනු ඇත​.

දකුණු කොරියානු ජනාධිපතිවරණය 2017 දෙසැම්බරයේදී පැවැත්වේ.

No comments:

Post a Comment