Thursday, October 20, 2016

ISIS නායකයන් මෝසුල් හැර යන බව සැක මතුවේ

ඊයේ දිනයේදී, ඉරාකයේ මෝසුල් නගරය අල්ලාගැනීමේ මෙහෙයුම තුන්වන දිනට ක්‍රියාත්මක වද්දී ත්‍රස්තයින් නගරය අවට සිය බලය තහවුරු කරගන්නට වූ අතර ඉරාක හමුදා, කුර්දි පැශ්මර්ගා සේනාංක සහ හශ්ඩ් අල්-ශාබි (මහජන සංවිධාන ඒකක​ - People's Mobilization Unit) ෂියා මිලීශියා භටයින්ට විශාල ජයග්‍රහණ අත් කරගත හැකි නොවීය​.

ISIS ත්‍රස්තයින් මර උගුල්, බිම් බෝම්බ​, ස්නයිපර් වෙඩික්කරුවන්, කාලතුවක්කු ප්‍රහාර සහ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් යොදාගෙන හැකි සෑම අයුරින්ම ප්‍රතිරෝධය පෑම හේතුවෙන් මෝසුල් වෙත යන ගමන අඩාල වී තිබේ.

කෙසේ නමුත්, ළඟ එන සටන හමුවේ ඇතැම් නායකයන් මෝසුල් නගරය හැර යන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එසේ පළායාම වැළැක්වීම සඳහා හශ්ඩ් අල්-ශාබි සේනාංක නගරයෙන් බටහිර ප්‍රදේශ වටලමින් සිටිති. මේ අතර නගරයේ සිටින ත්‍රස්ත සටන්කාමීන් දිනාගැනීමේ මෙහෙයුමක් ද ඉරාක බලධාරීන් අරඹා ඇත​. නායකයන් විසින් ඔවුන් මරු කටේදී අතරමං කරන ලද බව සටන්කාමීන්ට ඒත්තු ගැන්වීම මෙහි අරමුණ වී තිබේ.
හශ්ඩ් අල්-ශාබි සේනාංක නගරයෙන් බටහිර ප්‍රදේශ වටලමින් සිටිති

කුර්දි පැශ්මර්ගා සේනාංක මෙන්ම ෂියා මුස්ලිම් හශ්ඩ් අල්-ශාබි සේනාංක ද මෝසුල් නගරය තුළට ඇතුලු නොවන බවට ප්‍රතිඥාවක් දී තිබේ.

මේ අතර සටන්කාමීන් අතර බොහෝ පිටරැටියන් සිටින බව වාර්තා වේ. මේ හේතුව නිසා ඔවුනට ජනතාව අතර සැඟවීමේ අපහසුවක් ඇති බව විචාරකයින් ගේ මතය යි. එහෙයින්, පළා යාමේ මං ඇහිරුන විට ඔවුන් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගනිමින් දිගටම සටන් කරනු ඇතැයි අනුමාන කළ හැක​. මේ හේතුව නිසා සිවිල් වැසියන් වෙත එන පීඩනය සහ ජීවිත තර්ජනය තවත් ඉහළ ගොස් තිබේ.

නගරය සෑම අතින්ම වටලනු ලැබීම හේතුවෙන් සැපයුම් මාර්ග බිඳ වැටීම නිසා ත්‍රස්තවාදීන්ට අවසානය තෙක් සටන් කිරීම හෝ යටත් වීම හෝ හැර වෙන විකල්පයක් නොවනු ඇත​. පිටතින් එන සටන්කාමී සේනාංක විසින් මෙම වටලෑම බිඳ දමනු ඇතැයි සිතීමට ද අපහසු ය​.

4 comments:

  1. හිතපු විදියටම වැඩේ යනවා. එකම දේ ත්‍රස්තයන් අවසාන මොහොත වෙනකම් යටත්වීමක් කරාවිද යන්න ගැන නම් ස්ථිරව කියන්න බැරි එක.

    ඇයි කුර්දි වරු නගරයට යන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් කල් සටන යාවි.
      කුර්දිවරු යන්නෙ නැත්තෙ පරණ කෝන්තර නිසා නේද​? සදාම්ගෙ කාලෙ ඉඳන් එන

      Delete
    2. පුදුම ගති අප්පා.. අරාබියේ ඕක පොදු දෙයක් මම හිතන්නේ. ඔතනට එනකං එන්න දුන්න. ඒත් ඉතුරු ටික යන්න මුං බෙදාගන්න හදන්නේ..

      Delete
    3. කුර්දි ජනාධිපති බර්සානි කියල තිබ්බා මෝසුල් වැටුනට පස්සෙ පරිපාලනය ගෙන යාම ගැන එකඟතාවකට එන්න තාම බැරි වුනා කියල​. ඒක ගැන කතා කර කර උන්නා නම් තව කාලෙකට ඔය ඔපරේශන් එක කරන්න බැරි වෙනව කියල​

      Delete