Thursday, September 28, 2017

ප්‍රජාතන්ත්‍රවාදය එපා වීම​

1920 දශකයේදී, විවිධ හේතූන් මත ජර්මනියේ ජනතාවට සාම්ප්‍රදායික පක්ෂ එපා විය​. කෙතරම් වැරදි තිබුණද සාම්ප්‍රදායික පක්ෂ විසින් එක්තරා ආකාරයක "ප්‍රජාතන්ත්‍රවාදයක්" ආරක්ෂා කළේය​. එයට පිටින් යන පක්ෂ ගණනාවක් වූ අතර ඉන් වඩාත් කැපී පෙනුණේ එකිනෙක ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක වූ නට්සි පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයයි.

කෙසේ නමුත් ජනතාවට මැද මාවත එපා වෙද්දී ඔවුහු එක්කෝ දකුණට හැරී නට්සි පක්ෂය වෙත ගියෝය​; නැත්නම් වමට හැරී කොමියුනිස්ට් පක්ෂය වෙත ගියෝය​.

එක්තරා අවස්ථාවකදී, රටේ මධ්‍යස්ථ මතවාදීන්ට වඩා ප්‍රමුඛව අන්තවාදී දෙපාර්ශවය ලබාගත් ඡන්ද එකතුව වැඩි විය​. (1932 ජූලි රයිෂ්ටාග් මැතිවරණය - නට්සි පක්ෂය ඡන්ද 37.27%, කොමියුනිස්ට් පක්ෂය 14.32%).



සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සියයට 22 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුවද ඔවුන් සමඟ එක් වීමට කොමියුනිස්ට්වාදීහු අකමැති වූහ​. ඒ ස්ටාලින් සහෝදරයාගේ මොළේ තරමය​. ඔහු සිතුවේ ජර්මන් සමාජ ක්‍රමය බිඳ දමා බලය පැහැර ගන්නට ය​. නට්සින් බලයට ආවත් ඔවුන් වැඩිකල් බලයේ සිටිනු නැතැයි ඔහු සිතන්නට ඇත​. අනෙක් අතට ව්‍යාපාරිකයෝ වමේ රජයක් බලාපොරොත්තු නොවූහ​. ඔවුනට අවශ්‍ය වූයේ යක්ෂයා සමඟ හෝ ගනුදෙනුවක් කොට වමේ පාලනයක් ඇති නොවන සේ වග බලා ගැනීමය​.

1932 ජූලි වනවිට ජර්මන් ඡන්ද දායකයින් බහුතරය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කොට අවසන් ය​.

1933 ජනවාරියේ හිට්ලර් චාන්සලර් බවට පත් විය​. එතැන් සිට ඉතිහාසය ඔබ දනී.

Monday, September 4, 2017

මුගාබේ මැන්ඩෙලා විවේචනය කරයි

පසුගියදා පැවති පාලක සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රස්-දේශප්‍රේමී පෙරමුණ (ZANU-PF) පක්ෂයේ රැළියක් ඇමතූ සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ, හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා නිර්දය ලෙස විවේචනය කළේය​.

මැන්ඩෙලා තම ජනතාවගේ ආර්ථික නිදහස වෙනුවට තම පුද්ගලික නිදහස අගය කළ බවත් එහෙයින් අදටත් දකුණු අප්‍රිකාවේ ආර්ථිකය සුදු ජාතිකයන් අත පවතින බවත් මුගාබේ කියා සිටියේය​.

ග්වේරු නගරයේ පසුගිය සිකුරාදා (සැප්. 1) පැවති ZANU-PF පක්ෂ රැළියක් අමතා ෂෝනා බසින් කළ කතාවකදී මෙම අදහස් පළ කළ මුගාබේ තවදුරටත් කියා සිටියේ නිදහස ලද පසු මැන්ඩෙලාට ඔහු සිරගත වූ හේතුව අමතක වූ බවයි.



ඔහු එල්ල කරන බරපතලම චෝදනාව නම් දකුණු අප්‍රිකානු රජයේ ඇතැම් අමාත්‍යවරුන් ද ඔහු හා එකඟ වන බවයි.

මෑතකදී ඔහු දකුණු අප්‍රිකාවට සංචාරය කළ අවස්ථාවකදී එරට අමාත්‍යවරයකු හා සාකච්ඡා කළ බවත් එරට ආර්ථිකය සුදු ජාතිකයන් අත පැවතීම පිළිබඳ ප්‍රශ්න කළ විට "එය ඇසිය යුත්තේ ඔබේ මිත්‍ර මැන්ඩෙලාගෙන්" යයි එම අමාත්‍යවරයා පැවසූ බවත් මුගාබේ කියා සිටියේය​.

අද වනවිටත් දකුණු අප්‍රිකාවේ ඉඩම්, කර්මාන්ත සහ සමාගම් පාලනය කරන්නේ සිදු ජාතිකයන් බවත් කලු ජාතිකයන් සිය ආර්ථික විමුක්තිය සොයාගෙන නොමැති බවත් මුගාබේ ප්‍රකාශ කළේය​.

1980 සිට සිම්බාබ්වේ රට පාලනය කරන මුගාබේ 93 වන වියේ පසුවෙයි. ඔහුගේ පාලනය යටතේ ද විශේෂයෙන්ම විශාල ගොවිපලවල් සහ ආර්ථිකයේ වැදගත් අංශ සුදු ජාතිකයන් අත පැවති අතර 2001 දී ඔහු සිය පාක්ෂිකයන්ට (විශේෂයෙන්ම නිදහස් සටනේ සටන් වැදුණ සෙබලුන්ට​) සුදු ජාතිකයන් සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගැනීමට ඉඩ දුන්නේ ය​.

සිම්බාබ්වේ රාජ්‍යය අද වනවිට අහස උසට නැගි උද්ධමනයෙන් පීඩා විඳින රටකි.

Pic: Mugabe on his 90th Birthday Celebrations (AP)